කෝඩුකාර ඇස් 1 කොටස

තේ දලු දෙපසම පිරුණු නිසල පරිසරයක් මැදින් වැටුණු අතුරු මාර්ගයකට වාහනය හරවද්දී, අභිලාශ්ගේ හදවතට දැනුණේ වචනයෙන් විස්තර කළ නොහැකි සැහැල්ලුවකි. වාහනයේ වායුසමීකරණය අක්‍රිය කළ ඔහු ජනේල වීදුරු දෙකම පහත් කළේ, කඳුකරයේ පවතින ඒ නැවුම් පිනි සුවඳ මුසු වාතය පෙනහළු පුරා ආඝ්‍රාණය කිරීමේ දැඩි ආශාවෙනි. කොළඹ නගරයේ දූවිල්ලෙන් හා දුමෙන් පිරුණු වාතය සමඟ දවස පුරා සටන් කරන අභිලාශ්ට, මේ හරිත වර්ණ සොබාදහම දැකීමෙන් ඇති වූයේ විශාල ලෝභකමකි. "ලංකාවේ මෙච්චර ලස්සන පළාත් තිබිලත්, අපිට මේ වගේ තැනක ජීවත් වෙන්න පිනක් නැති හැටි," අභිලාශ්ගේ හිත තමාටම මුමුණන්නට විය.
අභිලාශ් රථයේ වේගය අඩාල කළේය. තේ වතු යාය පීරමින් ඇදී යන තාර පාර දිගේ හෙමින් ඉදිරියට ඇදුණේ අවට සුන්දරත්වය දෑසින් මෙන්ම හදවතින්ද විඳගන්නා ගමනි. රෝහලේ වාට්ටු තුළ පුංචි දරුවන්ගේ අඳෝනා සහ බෙහෙත් සුවඳ මැද කාලය ගෙවන අභිලාශ් පලිහවඩනට, මෙවැනි විවේකයක් ලැබුණේ ඉතා කලාතුරකිනි. වෘත්තියෙන් ළමා වෛද්‍යවරයකු වූ ඔහු, 34 වන වියේ පසු වූ කඩවසම් තරුණයෙකි.
අවුරුදු ගණනාවක ප්‍රේම සම්බන්ධයකින් පසුව වෛද්‍ය නිකේශලා ප්‍රනාන්දු සමඟ යුග දිවියට එළඹුණත්, මීට වසර දෙකකට පෙර එය දික්කසාදයකින් කෙළවර විය. අභිලාශ් දැන් තෙවසරක් වයසැති පුංචි පුතකුගේ පියෙකි. විවාහය දෙදරා යාමෙන් ඇති වූ මානසික පීඩනයෙන් මිදීමට ඔහු උත්සාහ කළේ විවේකයක් නොගෙන වැඩ කිරීමෙනි. එහෙත්, ඔහුගේ සමීපතම මිතුරා මෙන්ම පෞද්ගලික මනෝ වෛද්‍යවරයා වූ කසුන් හේන්පිටගෙදරගේ උපදේශය වූයේ, අභිලාශ් අවම වශයෙන් සතියක්වත් මේ කාර්යබහුල පරිසරයෙන් මිදී හුදෙකලාව විවේක ගත යුතු බවයි.
මුලදී අකමැත්තෙන් වුවද, කසුන්ගේ බලකිරීම මත පැමිණි මේ ගමනේදී හමුවන සිරි අසිරිය අභිලාශ්ගේ හිතට සහනයක් ගෙන දුන්නේය. වසර එකොළහකට පසුව සරසවි සමයේ තම කාමර සගයා වූ "අප්පුවා" හමුවීමට තීරණය කිරීම නිවැරදි බව ඔහුට දැන් හැඟේ. රුවන් අප්පුහාමි හෙවත් වෛද්‍ය පීඨයේ කාගෙත් "අප්පුවා", එකල අභිලාශ්ගේ ළඟම මිතුරා විය. එහෙත්, වෛද්‍ය උපාධිය හදාරමින් සිටියදී අනපේක්ෂිත ලෙස අප්පුවාට සරසවියට සමුදීමට සිදු විය.
අප්පුවාගේ පියා මැණික් පතලක සිදු වූ අනතුරකින් මියගිය අතර, ඒ වන විට මවද ජීවතුන් අතර සිටියේ නැත. තමාට වඩා වසර 11ක් බාල සිය එකම නැගණිය තනිකර දමා සරසවි ඒමට අප්පුවාට සිත දුන්නේ නැත. ඒ නිසාම තම වෛද්‍ය සිහිනය පසෙක ලෑ ඔහු, පරම්පරාගත මැණික් ව්‍යාපාරයට උර දුන්නේය. ගතින් ඈත් වුවද, කොළඹ පැමිණෙන සෑම අවස්ථාවකම අභිලාශ්ව හමු වීමට අප්පුවා අමතක කළේ නැත.
අප්පුවා එවා තිබූ Google Location එක ඔස්සේ පැමිණියද, මඳ දුරක් යද්දී දුරකථන සංඥා (Signal) ඇනහිට ඇති බව අභිලාශ්ට වැටහුණි. පාරේ දිශානතිය නිශ්චිතව නොදන්නා නිසා ඔහු රථය පාර අයිනේ නැවැත්වීය.
වේලාව පෙරවරු 10 පසු වී තිබුණත්, පරිසරයේ පැවතියේ ප්‍රබෝධමත් සීතලකි. තේ පඳුරු අතරින් පතිත වන මෘදු හිරු රැස් ගතට ගෙන ආවේ සුවදායක හැඟීමකි. අභිලාශ් රථයෙන් බැස මඳක් ඉදිරියට ගියේ, එතැන ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටි දරුවන් පිරිසකගෙන් මඟ ඇසීමටය. නගරයේ දරුවන්ට අහිමි වූ, එහෙත් ගමේ දරුවන්ට තවමත් උරුම ඒ නිදහස් ළමා කාලය දෙස අභිලාශ් බලා සිටියේ අසාවෙනි. තරගකාරී අධ්‍යාපනය සහ තාක්ෂණය නිසා නූතන දරුවන් පත්ව ඇති මානසික ආතතිය ගැන වෛද්‍යවරයකු ලෙස ඔහු නිතරම කනස්සල්ල පළ කළේය.
ඔහු දරුවන් වෙත කිට්ටු විය. අභිලාශ් දුටු දරුවෝ එකිනෙකාගේ මුහුණ බලා ගත්හ. "පුතේ... මේ පැත්තේ රුවන් අප්පුහාමි කියලා කෙනෙක් ඉන්නවද?"
"මහත්තයා කවුද...?" එක් දරුවෙක් ප්‍රශ්න කළේය. "
මම එයාගේ කොළඹ යාළුවෙක්. මගේ ෆෝන් එකට සිග්නල් නැහැ, මට පාර හොයාගන්න අමාරුයි."
"රුවන් අප්පුහාමි කියන්නේ අපේ ගමේ මුදලාලි හාමුට."
"හාමුට...?" අභිලාශ් පුදුමයෙන් ඇසීය.
"ඔව්. මෙතනින් තව ටිකක් දුර යන්න ඕනේ."
"මට එහෙට යන්න පාර කියන්න පුළුවන්ද ඔයාලට?" අභිලාශ් දරුවන් දෙස බැලුවේ ඉතා සෙනෙහසිනි. රෝහලේදී නිරන්තරයෙන් දරුවන් සමඟ කටයුතු කර පුරුදු අභිලාශ්ට, මේ ගැමි දරුවන් පෙනුණේ හරිම අහිංසක පිරිසක් ලෙසය.
අභිලාශ් තමා අසල සිටි දරුවා වෙත මඳක් කිට්ටු විය. ඒ වන විටත් පන්දු යවමින් සිටි දහසය හැවිරිදි පමණ තරුණ ගැටයකු, අභිලාශ් පාර ඇසූ දරුවාගේ කනට කර රහසින් යමක් පැවසූ අතර, අභිලාශ්ට එය පැහැදිලිව ඇසුණේ නැත.
"මෙතනින් කෙළින්ම ගිහින් වමට හැරෙන්න. හැරුණට පස්සේ ආයේ කොහෙටවත් හැරෙන්නේ නැතුව දිගටම යන්න. එතන ඉඳලා කිලෝමීටර් තුනක්වත් යන්න ඕනේ. එහෙම යනකොට කන්ද උඩටම වෙන්න වලව්වක් වගේ ලස්සන ගෙයක් පෙනෙයි. ඒක තමයි හාමුලාගේ වලව්ව."
"බොහොම ස්තූතියි පුතාලා. ඔයාලා හිටියේ නැත්නම් මට පාර හොයාගන්න වෙන්නේ නැහැ. මම ගිහින් එන්නම්."
"එතකොට අද හාමුලාගේ ගෙදරට එනවා කිව්ව මහත්තයා ඔයාද?"
"ඔව්, ඔයාලා කොහොමද ඒක දන්නේ?" අභිලාශ් පුදුමයෙන් ඇසීය.
"අපි දන්නවා. අපිට සනුලි අක්කා කිව්වා. ඔයා නිසා තමයි අද සනුලි අක්කට සෙල්ලම් කරන්න එන්නත් බැරි වුණේ."
"ඒකත් එහෙමද? එතකොට කවුද මේ සනුලි අක්කා කියන්නේ?"
"ඇයි දන්නේ නැද්ද? රුවන් හාමුගේ නංගිනේ."
"ආ... ඔව් ඔව්, මම දන්නවා. එහෙනම් මම ගිහින් එන්නම්. මම නිසා ඔයාලගේ සනුලි අක්කාට සෙල්ලම් කරන්න එන්න බැරි වුණු එකට මගේ කනගාටුව කියන්නකෝ," අභිලාශ් සිනාසෙමින් පැවසීය.
එතැන සිටි කුඩා දරුවකුගේ හිස ආදරයෙන් අතගෑ අභිලාශ් නැවත රථයට ගොඩ විය. දරුවන් පිරිස නිහඬව බලා සිටියදී, අභිලාශ් නළාව (Horn) නාද කරමින් ඉදිරියට ඇදුණි. එහෙත් ඔහු පසුකර යන විට දරුවන් කිසිවකුගේ මුහුණේ සුහද සිනහවක් නොවීය. සමහරවිට ඔවුන්ගේ 'සනුලි අක්කා' එන්නට නොලැබීම ගැන ඔවුන් පසුවන්නේ අමනාපයෙන් විය හැකියි අභිලාශ්ට සිතුණි.
"අප්පුවා කොහොමත් අමුතු චරිතයක්නේ. මම එන නිසා නංගිට කොහේවත් යන්න එපා කියලා බලපෑම් කරන්න ඇති. මට මතක විදිහට නංගි අප්පුවට වඩා සෑහෙන්න බාලයි. දැන් නම් ඇයට වයස විසි පහක් විතර ඇති. ඒත් මේ වගේ පොඩිඋන් එක්ක සෙල්ලම් කරන කෙනෙක් වෙන්න බැහැනේ," වාහනය සෙමින් පදවන අතරතුර අභිලාශ් තර්ක කළේය.
දරුවන් පැවසූ මඟ සලකුණු ඔස්සේ කිලෝමීටර් තුනක් පමණ ගියද, පෙනෙන තෙක් මානයක නිවසක සේයාවක් නොවීය. පසෙකින් නිමක් නැති තේ යායවල් පමණි. තමා එකම පාරක වට කිහිපයක් කැරකෙනවා දැයි අභිලාශ්ට සැක සිතුණි. පැය දෙක තුනක් තිස්සේ වාහනය පැදවූවත්, අප්පුවාගේ වලව්ව තබා කුඩා නිවසක්වත් හමු වූයේ නැත.
දහවල් 12 ද පසු වී තිබුණු අතර අභිලාශ් සිටියේ දැඩි තෙහෙට්ටුවකිනි. ඉහළින් වැටෙන තද හිරු රශ්මිය දරාගත නොහැකි වූ තැන ඔහු වීදුරු වසා නැවත වායුසමීකරණය ක්‍රියාත්මක කළේය. "මේ පොඩි උන් ටික, උන්ගේ අක්කාට සෙල්ලම් කරන්න දුන්නේ නැති එකට මට හොඳ ලණුවක් දීලා තියෙන්නේ. දැන් නම් මට ආපහු යන්නයි හිතෙන්නේ," අභිලාශ් තමාටම මුමුණා ගත්තේ කේන්තියෙනි. දුරකථන සංඥා පරීක්ෂා කළද තවමත් එහි දිස්වූයේ "No Connection" යන්නයි. "ඕනෑම දෙයක් වුණාවේ. මම ආපහු යනවා. සතියක් තබා එක මොහොතක්වත් මම මෙහේ ඉන්නේ නැහැ."
ඔහු රථය හරවා ආපසු යෑමට සැරසෙද්දී, වයස අවුරුදු පනහක පමණ පුද්ගලයකු ඈත සිට වාහනය දෙසට වේගයෙන් දුව එනු දුටුවේය. ඔහු හතිලමින් වාහනය අසලට පැමිණ වීදුරුවට නැඹුරු වූයේ මහත් කලබලයෙනි. කාන්තාරයක අතරමං වූවකුට ජල බිඳක් හමුවූවාක් මෙන් හැඟීමක් අභිලාශ්ට දැනුණි.
"මේ මහත්තයාද හාමු මහත්තයාගේ යාළු දොස්තර මහත්තයා?"
"අම්මෝ ඔව් අංකල්! මට පාර වැරදිලා මම මේ ආපහු යන්න හැරුණා විතරයි."
"බුදු අම්මෝ... මහත්තයාව හොයාගන්න මම කිලෝමීටර් තුනක් විතර පයින් දිව්වා. දෙයියනේ මහත්තයා ගිහින් තියෙන දුරක්!"
"ඉස්සෙල්ලම කාර් එකට නැගලා ඉන්න අංකල්. මට නම් දැන් පිස්සු වගේ."
ඒ මනුස්සයා වාහනයට ගොඩ වූයේ ඉතා නුහුරු විදිහකටය. ඔහු මීට පෙර වාහනයක ගමන් කර නැති බව අභිලාශ්ට වහා වැටහුණි.
"අංකල්ව එව්වේ අප්පුවද?"
"අප්පුවා කිව්වේ මහත්තයෝ...?" ඔහු විමතියෙන් ඇසීය.
"ආ... නැහැ නැහැ, මම ඇහුවේ අංකල්ව එව්වේ කවුද කියලා."
"මාව එව්වේ පුංචි හාමු."
"පුංචි හාමු කිව්වේ...?"
"රුවන් හාමුගේ නංගි. ඇයි දොස්තර මහත්තයා පුංචි හාමුව දන්නේ නැද්ද?"
"අපොයි අංකල්, මම අවුරුදු දොළහකින් විතර පුංචි හාමුව දැකලා නැහැ. එයාගේ තාත්තා මැරෙනකොටත් ඇයට වයස අවුරුදු දොළහක් විතර ඇති." "රුවන් ගෙදර නැද්ද මාව එක්කන් යන්න අංකල්ව එවන්න? අනික නංගි කොහොමද දන්නේ මම අතරමං වෙලා කියලා?"
"අප්පේ... මම මෙහේ ආවා කියලා හාමු මහත්තයා දන්නේ නැහැ. දැනගත්තොත් නම් මහ විනාශයක් වෙන්නේ."
"ඒ කිව්වේ?" අභිලාශ් විමතියෙන් යුතුව ඇසීය.
"ඔතනින් වම් පැත්තට දාන්න මහත්තයො."
"මට මගදි හම්බවුනූ දරුවො ටික කිව්වෙ කොහෙටවත් හරවන් නැතුව කෙලින්ම යන්න කියලා. "
"දරුවෝ..? දරුවො නෙමේ ඕකුන් මරුවො. අපේ හාමු මහත්තයා දන්නවනම් එහෙම ඕකුන්ට විසුමක් හම්බවෙන් නෑ. මුන්ගෙ තියෙන ඇට්ටරකමට මුන් මහත්තයව තේ වත්ත වටේ යවලා.ඕකුන් හින්දා තමා පුංචි හාමුවත් හදාගන්න බැරි."
"මටනම් අංකල් කියන කිසිම දෙයක් තේරෙන්නෙ නෑ.'
"මහත්තයට තේරෙයි ඕකුන්ගෙ හැටි ටික දවසක් මෙහෙ හිටියනම්."
"කොහොමත් මම සතියක් දෙකක් ඉදලා යන්න තමයි ආවෙ."
"අද අපේ පුංචි හාමුව බලන්න මනමාලයෙක් එනවා. ඕකට ඉතින් පුංචි හාමු ඒ තරම් කැමැත්තක් නෑ. රුවන් හාමුගෙ බලකිරිල්ලට තමයි මනමාලයව බලන්නවත් කැමති වුනේ."
"ඉතින් ?"
"කොහොමින් හරි පුංචි හාමු කොල්ලො කුරුට්ටෝ ටිකට කියලා මනමාල කට්ටියට වෙලාවට එන්න බැරි වෙන්න පාර වරද්දවන්න කියලා. මොකද අද උදේ කොල්ලො කුරුට්ටන්ගෙ කිරිකොට් තරගයක් දාගෙන තිබුනා. පුංචි බේබිට ඉතින් සෙල්ලම කිව්වොත් වෙන දෙයක් ඕනා නෑනෙ.මනමාල කට්ටිය උදෙන්ම ආවොත් සෙල්ලමට යන්න වෙන්නෙ නෑනෙ. ඉතින් මුන් හිතලා තියෙන්නෙ දොස්තර මහත්තයා තමයි මනමාලයා කියලා. ඉතින් මුන් මහත්තයව තේ වත්ත වටේ යවලා."
"අපොයි."
"පුංචි හාමු හිතන් හිටියෙ මනමාල කට්ටිය එන්න පරක්කු වෙයි කියලා. ඒත් මනමාල කට්ටිය වෙලාවට ආවා. ඊට පස්සෙ පුංචි හාමු මට කතා කරලා කිව්වා කොල්ලන්ගෙන් අහන්න කියලා මොකද වුනේ කියලා. මම ගිහින් අහනකොට තමයි උන් කිව්වෙ 'මනමාලයව තේ වත්ත වටේ යැව්වා.හවස් වෙනකන් මනමාලයා එන එකක් නෑ.සනුලි අක්කට සෙල්ලම් කරන්න එන්න කියන්න කියලා.' එතකොටයි මට තේරුනේ උදේ ඉදලා අපේ හාමු එනකන් බලන් හිටිය දොස්තර මහත්තයවයි මුන් තේ වත්ත වටේ යවලා තියෙන්නෙ කියලා.මම දන්නවා මේක ගැස්සුනොත් හාමුට යක්ශාවේස වෙනවා කියලා. ඒකයි මන් මේ පුංච් හාමුටත් මේ විස්තරේ කියලා තකහනියක්ම දුවගෙන ආවෙ."
"අයියෝ... මනමාලයෙක් හින්දා මට වෙච්ච දෙයක්.මම ඇවිත් තියෙන්නෙ නරක දවසක."
"දැන් හාමු කලබල වෙලා බලාගෙන ඉන්නවා දොස්තර මහත්තයා නෑ කියලා. මනමාල කට්ටිය ඉන්න නිසා හාමුට එතනින් එන්නත් බෑ. කෝල් ගන්නවා ගන්නවා ඉවරෙකුත් නෑ. අනේ මහත්තයෝ… මන් වැදලා කියන්නම් මේ වෙච්ච දේවල්නම් හාමුට කියන්න එපා. ඒකෙන් වෙන්නෙ පුංච් හාමු ගුටි කන එකයි. අර ඇට්ටර කොල්ලන්ගෙ දෙමව්පියන්ට එදා වේල නැති වෙන එකයි."
"ඇයි ඒ…? ඒ මිනිස්සුන්ට එදා වේල නැති වෙන්නෙ."
"මේ පලාතෙම මිනිස්සු ජීවත් වෙන්නෙ හාමු මහත්තයගෙ තේ වතු වල වැඩ කරලයි.මැණික් පතල් වල වැඩ කරලයි. අපරාදෙ කියන්න බෑ,ලොකු හාමු වගේ නෙමේ කොච්චර වස උනත් හාමු මහත්තයා මිනිස්සුන්ට හොදට සලකනවා. මේක දැන ගත්තොත් එහෙම වසලා හමාරයි. උන්ගෙ අප්පලට රස්සාවලුත් නැති වෙයි. උන් අහිංසක මිනිස්සු මහත්තයො."
"නැහැ..නැහැ මම කියන්නෙ නෑ."
"ඔතන තියෙන ගේට්ටුවෙන් ඇතුලට දාන්න මහත්තයෝ. මේ තියෙන්නෙ වලව්වට යන පාර. මේ වතු යායත් හාමුගෙ තමයි."
"එතකොට අංකල් රුවන්ගෙ කවුද..?"අභිලාශ් ඇහුවෙ ගේට්ටුවෙන් ඇතුලට කාර් එක හරවන ගමන්ය.
"අනේ…මම හාමුගෙ කවුරුවත් නෙමෙයි. මම ඒ කාලෙ ඉදලම මේ වත්තෙ මුරකාරයා. මගෙ ගෑනි තමයි කුස්සිඅම්මා. පුංචි කාලෙ ඉදලම අපි තමයි හාමුලව බලා ගත්තෙ."
අප්පුවා අපිට කවදාවත් නොකිව්වට අප්පුවා කියන්නෙ සෑහෙන්න යමක් කමක් තියෙන කෙනෙක් කියලා අභිලාශ්ට හිතුනා. ගුරුපාර දිගේ ඉස්සරහට යනකොට මෙච්චර වෙලා තෙහෙට්ටු වෙලා තිබුන හිතයි ගතයි දෙකම සැහැල්ලු වෙනවා අභිලාශ්ට තේරුනා. හරියට සිංහරාජ වනන්තරේ වගේ.හරිම නිස්කලංකයි. අවුව කියලා පොඩ්ඩක්වත් නෑ. සීතල අදුරුගතියක් මුලු පරිසරේම ගැබ්වෙලා තිබුනා. අභිලාශ්ගෙ හිතට දැනුනු නැවුම් හැගීමත් එක්ක හිතේ තිබුනු කේන්තිය ටික ටික නිමිලා ගියා.
"අන්න මහත්තයො වලව්ව.මේ පාර කෙලින්ම යන්නෙ වලව්වට. මහත්තයා මාව මෙතනින් බස්සවන්න."
"ඇයි ඒ…අංකලුත් යන්නෙ වලව්වටමනෙ. මාත් එක්කම යන්."
"අම්මෝ බෑ මහත්තයො.මම මහත්තයා එක්ක යනවා දැක්කොත් හාමු මහත්තයා අනිවාර්යයෙන්ම සැක කොරොනවා. ඒ නිසා මම බහින්නම්."
අප්පුවට මිනිස්සු තියෙන බය කියලා හිතෙනකොට අභිලාශ්ට හිනා යන්න ආවත්, ඒ හිනාව තද කරගෙනම අභිලාශ් කාර් එක නැවැත්තුවා.
"එහෙනම් අංකල්ට ගොඩාක් ස්තූතියි මාව පොඩි උන්ගෙ උගුලෙන් බේර ගත්තට."කාර් එකේ දොර ඇරලා දෙන ගමන් අභිලාශ් කිව්වා.
"ඕක මොකක්ද මහත්තයෝ.මහත්තයා මේ ඉන්න ටික දවසට ඕනම දෙයක් කියන්න.මම කොරලා දෙන්නම්. වලව්වෙදි මාව කලින් හම්බවෙලා නෑ වගේ හිටියොත් මහත්තයට ගොඩක් පින්."
"හරි හරි මම එහෙම කරන්නම්."හිනාවේගනම කිව්ව අභිලාශ් කාර් එකේ දොර වහලා කාර් එක ඉස්සරහට ඇද්දුවා.
********

Comments
Post a Comment