කෝඩුකාර ඇස් 2 කොටස

"අම්මෝ අභියෝ… මම උඹ එනකම් දැන් සෑහෙන වෙලාවක ඉඳලා බලාගෙන ඉන්නවා. උඹේ ෆෝන් එකට මොකද වුණේ? ලොකේෂන් පෙන්වන්නේ නැතුව ගියා. අද ගෙදරට කට්ටියක් ඇවිත්. ඒ නිසා මට ගෙදරින් හෙල්ලෙන්නත් බැහැ. මම බය වෙලා හිටියේ."
"මඟදී වාහනය හීට් වෙන්න ගත්තා බං. කොහෙද මේ හැමතැනම කඳුනේ. මම ඉතින් ටිකක් වෙලා නතර කරගෙන ඉඳලයි ආවේ. අනික මේ පැත්තට සිග්නල් නැහැනේ."
"උඹ ඉතින් අහලා නැද්ද… රත්නපුරේ කියන්නේ කඳුම තමා. අනික මෙහෙට සිග්නල් තියෙන්නේ මොබිටෙල්වලට විතරයි බං. මට ඒක උඹට කියන්න අමතක වුණා. ඒක නෙමෙයි කොහොමද මගේ රාජධානිය?"
"ඇත්තටම ලස්සනයි බං. උඹ අපිට කවදාවත් කියලා නැහැනේ උඹට මෙච්චර ලස්සන එස්ටේට් එකක් තියෙනවා කියලා."
"උඹ ඉතින් දන්නේ නැද්ද මේ අප්පුවගේ හැටි. මගේ නැහැනේ ඔය ලොකුකම්. යමන් යමන් ඇතුළට."
අභිලාශ්ගේ කරට අත දාගෙන රුවන් ගෙට එක්කගෙන යද්දී ගෙදරට එන පාර දිගේ ඈතින් එන වයසක අංකල්ව අභිලාශ් දැක්කා. ලොකු වැරැද්දක් කරලා අම්මා තාත්තාට හොරෙන් ගෙදරට එන පොඩි එකෙක් වගේ හොරගල් අහුලන ඒ අහිංසක මනුස්සයාව දැක්කම අභිලාශ්ට ඇති වුණේ ලොකු දුකක්. අංකල් ගේ පිටුපසට ගියේ අප්පුවට නොපෙනෙන්න කියලා අභිලාශ්ට තේරුණා.
"සෝමපාල… සෝමපාල…"රුවන් හයියෙන් කතා කළේ ගේ පැත්ත හැරිලා."ඇයි යකෝ.. ගෙදර අද මෙච්චර වැඩක් තියෙනකොට මේ මිනිහා කොහේ ගිහින්ද මන්දා. මම දැන් පැය දෙක තුනකින් දැක්කේ නැහැ."
"සෝමපාල…"
රුවන් තවත් හයියෙන් කෑගැසුවේ හිතට ආපු කේන්තියෙන්මයි. ගේ ඇතුළෙන් දුවගෙන ආවේ අභිලාශ්ට පාර හොයලා දීපු අංකල්මයි. ඒ කියන්නේ ඒ මනුස්සයාගේ නම සෝමපාල. අභිලාශ් ඒ මනුස්සයාව නොදැක්ක ගානට අහක බලාගත්තේ නිකමටවත් කලින් අඳුනනවා කියලා අප්පුවට තේරෙයි කියන බයට.
"කොහෙද මනුස්සයෝ ගිහින් හිටියේ?"
"මම මේ වත්තට ගියා හාමු මහත්තයෝ. දළු කඩන්න ගෑනු ඇවිත්ද බලන්න."
"අද දළු කඩන දවසක්ද මනුස්සයෝ? මට බොරුව දාන්න එපා.. තමුසේ ගියේ පුංචි හාමුගේ මොකක් හරි මගඩි වැඩකට නේද..?"
"අනේ නැහැ මහත්තයෝ. මට අමතක වුණා අද දළු කඩන දවසක් නෙමෙයි කියලා."
"මට බොරු කියන්න එපා සෝමපාල. තමුසෙලා හැරෙනකොට මට කියන්න පුළුවන්. දැන් ඒකෙන් කමක් නැහැ. මේ ඉන්නේ මගේ හොඳම යාළුවෙක්. මම අද උදේ තමුසෙට කිව්වේ."
"එහෙමයි."
"මේ මහත්තයාගේ බෑග් ටික ඇති කාර් එකේ. ඒක ගිහින් උඩ කාමරේට දානවා. හේමාට කියනවා තව ටිකකින් මේ මහත්තයට බොන්න මොනවා හරි හදලා උඩ කාමරේට එවන්න කියලා."
"හොඳමයි මහත්තයෝ."
අභිලාශ් ආපහු කාර් එක ළඟට ආවේ සෝමපාලට බෑග් ටික අරන් දෙන්නටය.
"දැක්කනේ මහත්තයෝ.. මම කිව්වේ. නිකන් හරි පුංචි හාමු කරපු වැඩේ දැන ගත්තොත් අපි ඔක්කොම කම්මුතුයි."
"අංකල් බය වෙන්න එපා. මම ඕවා කියන්නේ නැහැ."බෑග් ටික අරන් දීපු අභිලාශ් ආපහු රුවන් ඉන්න තැනට ආවත්, ඒ වෙනකොටත් රුවන් හිටියේ කෝල් එකකය.
"සොරි බං. මගේ වැඩ මෙහෙම තමා. නිදා ගන්න ගියත් බිස්නස්ම තමයි. ඊයේ අපේ කොල්ලන්ට ගලක් හම්බවෙලා. ඒකේ පොඩි ප්‍රශ්න වගයක් නිසා අද පොඩ්ඩක් කලබලයි. අනික අද අපේ නංගි බලන්න මනමාලයෙක් ආවා. ඒ කට්ටියත් ඇතුළේ ඉන්නවා. වරෙන්කො යන්න."
රුවන් ඉස්සර වුණේ එහෙම කියන ගමන්ය. අභිලාශ් ඒ පිටුපසින්ම වලව්ව ඇතුළට ගියේ වලව්වේ තිබුණු වටපිටාව හොඳට බලන ගමන්ය.
"අපි බැලුවා රුවන් කොහේද ගියේ කියලා…?"
ගෙට යනකොටම කතා කළේ රුවන්ලාගේ ගෙදර ලොකු සෝෆා එකේ ඉඳගෙන හිටිය තලතුනා ගෑනු කෙනෙක්. හැබැයි පෙනුමෙන් නම් ලොකු ගාම්භීර බවක් ඒ ගෑනු කෙනාගෙන් පෙනෙන්නට තිබුණා.
"අනේ සමාවෙන්න ඕනා ආන්ටි. මගේ යාළුවෙක් අද මෙහෙ එනවා කියලා තිබුණා. එයා පරක්කු නිසා පොඩ්ඩක් එළියට ගියා කෝල් එකක් ගන්න. එතකොටමයි යාළුවා ආවේ."
"එතකොට මේ ළමයා කවුද..?"
"මම කිව්වේ අංකල්.. මම මෙඩිකල් කොලේජ් ඉන්නකොට මට හිටිය හොඳම යාළුවා, අභිලාශ් පළිහවඩන. දැන් කොළඹ ළමා රෝහලේ ඩොක්ටර් කෙනෙක්."
"මට මේ ළමයගේ නම හොඳට අහලා පුරුදුයි."
"ඒ මගේ නම නම් වෙන්න බැහැ ආන්ටි. ඒ අපේ තාත්තගේ නම වෙන්න ඇති. එයා නිමල් පළිහවඩන. ළමා විශේෂඥ වෛද්‍ය."
"හරිනේ. නිතරම ටී.වී එකට එනවා."
"ඔව්.. ඒ මගේ තාත්තා."
"ඒත් මම ළඟකදී නම් දැක්කේ නැහැ."
"නැහැ දැනට තාත්තා ලංකාවේ නැහැ."
"ඒක තමයි. මම නිතරම ටී.වී බලනවනේ."
"අපොයි ඔව්. මුන්ගේ ඔක්කොම ඩොක්ටර්ස්ලා තමයි. අම්මත් ඩොක්ටර් කෙනෙක්."
"අනේ නිකන් හිටපන් බං."
"ඉතින් ඇත්තනේ අභියෝ. උඹට මහන්සිත් ඇති. වරෙන් මම කාමරේ පෙන්වන්නම්."
"ඔව් දැන්නම් වොෂ් එකක් දා ගන්නම ඕනා."
"ඒක තමයි. හොඳ කට්ටකුත් කෑවනේ. වරෙන්කො මම කාමරේට එක්කන් යන්නම්. අංකල් මට විනාඩියක් දෙන්න."
"ඕකේ පුතා."
අභිලාශ් වටපිට බැලුවේ අප්පුවගේ නංගිවත් මනමාලයවත් පෙනෙන්නට හිටියේ නැති නිසාය. අභිලාශ්ව වටේ යැවූ කොල්ලන්ගේ මහමොළකාරයාව බලාගන්න අභිලාශ්ට ලොකු ආසාවක් ඇති වුණි. ඒත් ඒ අහල පහලකවත් ඒ දෙන්නම පෙනෙන්නට හිටියේ නැත. රුවන් අභිලාශ්ට කාමරේ පෙන්නලා ආපහු පහළට ගියේ ඒ වැඩ ටික ඉවර කරලා එන්නම් කියාය.
අප්පුවගේ ගෙදර බලන බලන තැන තිබුණු හැම බඩුවකම වගේ පුරාණික බවක් තියෙනවා කියලා අභිලාශ්ට සිතුණි. අමුතුම ගෘහනිර්මාණ ශෛලියකට හදලා තියෙන ඒ විශාල ගෙදර ඇතුළේ වුණත් තිබුණේ අමුතුම තේජවන්ත ගතියකි.
අභිලාශ් කාමරේ තිබුණු ජනේලය ඇරියේ ඇතුළට එන නැවුම් හුළං පොදක පහස විඳින්න බලාගෙන ය. ජනේලෙන් ඈත පෙනෙන කඳු පන්තිය දිහා ඕන වෙලාවක් බලාගෙන ඉන්න පුළුවන. හරිම ලස්සනයි, අභිලාශ් එයාටම මුමුණා ගත්තේය.
වත්තේ කොනටම වෙන්න අඹ ගසක් යට තිබුණු බෙන්ච් එකේ ඉඳගෙන කතා කර කර ඉන්නේ මනමාල ජෝඩුව වෙන්න ඕනා කියලා අභිලාශ්ගේ හිත කීවේය. අප්පුවගේ නංගිව දැක්කම අභිලාශ්ගේ ඇස් අදහා ගන්න බැරි වුණේ ඒ තරම් ලස්සන රූපයක් තියෙන කෙල්ලෙක් අභිලාශ් කොළඹදීවත් දැකලා තිබුණේ නැති නිසාය. කහ පාට බතික් ඔසරියක් ඇඳලා හිටිය සනුලිට තිබුණේ ඕනෑම කෙනෙක්ගේ හිත ඇදීලා යන රූපයකි.
මනමාලයා නම් හිටියේ පැණි හැළියට වැටිච්ච ඇඹලයෙක් වගේ කියලා අභිලාශ්ට සිතුණි. මොන කොල්ලද මේ කෙල්ලට අකමැති වෙන්නේ? ඒත් අභිලාශ්ට හිතාගන්න බැරි වුණේ මෙහෙම කෙල්ලෙක්ද අද දවසම මාව රස්තියාදු කෙරෙව්වේ කියාය.
සනුලිට ඕන වුණේ ඉක්මනින්ම මේ කතාව ඉවර කරලා ක්‍රිකට් ගහන්න යන්නටය. මනමාලයාගේ කියවිල්ල සනුලිට දැනුණේ හිසරදයක් විදියටය. "අපේ අයියටම ගැලපෙන ගල් ඉබ්බෙක්," සනුලි හිතින් බැන බැන වුණත් මනමාලයා එක්ක හිනා වෙලා කතා කළාය.
මනමාල කට්ටිය නිසා උදේ ගහන්න බැරි වුණ මැච් එක හවසට දා ගත්තේ බොහොම අමාරුවෙනි. "මේ මිනිහා කියවන එකෙන් මට අද හවසත් මැච් එකට යන්න වෙන්නේ නැහැ" කියලා දැනෙනකොට සනුලිට දැනුණේ ලොකු කේන්තියකි.
"එතකොට නංගි වැඩිදුර ඉගෙනගන්න හිතුවේ නැද්ද…?"
"ආ… මො.. මොකක්ද.. ඇහුවේ අයියේ..?"
"මම ඇහුවේ නංගි වැඩිදුර ඉගෙන ගන්න හිතුවේ නැද්ද කියලා."
"මම පොත්පත් එක්ක ඉන්න එච්චර ආස කෙනෙක් නෙමෙයි. මම ආසයි ස්පෝර්ට්ස් කරන්න. ඒත් අයියා කැමති නැහැ ඒවට. උසස් පෙළින් පස්සේ අයියා කිව්වා වැඩිදුර ඉගෙන ගන්න කියලා. ඒත් මම කැමති වුණේ නැහැ."
"ස්පෝර්ට්ස් හොඳයි තමයි. ඒත් ගෑනු ළමයෙකුට ගැලපෙන්නේ නැහැ නේද..?"
"ඒකනම් දන්නේ නැහැ. ඒත් මම ආසයි."
"කසාද බැන්දට පස්සේ ඉතින් ඕවා කරන්න වෙලාවක් හම්බවෙන්නේ නැහැනේ නංගි."
"හ්ම්…."
"මේ මනුස්සයා හදන්නේ මාව දැන්මම කසාද බැඳ ගන්න. මට මූට ගහන්න පුළුවන් නම් ඇත්තමයි ගහනවා." සනුලි හිතින් බැන බැනම ගෙදර උඩ තට්ටුව දිහා බලා ගත්තේ සනුලිගේ හිතට ආපු කේන්තිය මූණෙන් පෙනෙයි කියන බයටය.
උඩ තට්ටුවේ වම් පැත්තේ තියෙන කාමරේ ජනේලෙන් සනුලිලා දිහා බලාගෙන ඉන්න කෙනාව දැක්කම සනුලිගේ මුළු ඇඟම සීතල වෙලා යනවා සනුලිට දැනුණි.
"අභිලාශ් අයියා ඇවිල්ලනේ.. දෙයියනේ මෙයා වෙච්ච දේවල් අයියට කිව්වොත් එහෙම මට අද තියා ආයේ කවදාවත් සෙල්ලම් කරන්න නම් යන්න වෙන්නේ නැහැ."සනුලිගේ හිත බයෙන් ගැහෙද්දී බිම බැලුණේ ඉබේටමය.
සනුලිගේ හැසිරීමෙන් කෙල්ල ඉන්නේ හුඟක් බය වෙලා කියලා හිතුණ අභිලාශ්ට හිනා ගියේය. මේ හැමදේම දිහා බලාගෙන හිටිය මනමාලයාට නම් ඒ කිසිම දෙයක් දිරෙව්ව බවක් පෙනෙන්නට තිබුණේ නැත.
"ඒ කවුද සනුලි නංගි..?"
මනමාලයා එහෙම ඇහුවත් ඒකට උත්තර දෙන්න සනුලිට ඕන කමක් තිබුණේ නැත. සනුලිට ඕන වුණේ අභිලාශ්ව යාළු කර ගන්න ක්‍රමයක් හිතන්න විතරය. ආපහු ජනේලය පැත්ත හැරුණු සනුලි අභිලාශ්ට අත වැනුවේ හුඟාක් කල් ඉඳලා දන්න අඳුනන කෙනෙක්ව දැක්කා වගේය.
ඒකට නම් අභිලාශ්ටත් පුදුම හිතුණි. අභිලාශ් සනුලිට අත වැනුවත් අභිලාශ්ගේ මූණේ තිබුණේ පුදුමයක් මිසක් සුහද හිනාවක් නම් නොවේ. ඒකට සනුලිගේ හිත තවත් බය වුණි.
"මේ කොල්ලෝ ටික කරපු වැඩේ හින්දා අයියගේ යාළුවා මාත් එක්ක අප්සෙට් වගේ. මම ඉවරයි ඉතින්." සනුලිට හිතුණේ එච්චරයි.
"සනුලි නංගි.. කවුද ඒ.."
"අ.. ආ… ඒ අපේ අයියගේ හොඳම යාළුවා. කොළඹ ඉඳලා ආවේ, නිවාඩුවකට."
"එයත් බිස්නස්මන් කෙනෙක්ද…?"
"අපෝ.. නෑ… ඩොක්ටර් කෙනෙක්."
"අයියා වගේම එයත් බැඳලා නැද්ද…"
මනමාලයා ඒ දිහා බලන්නේ සැකෙන් කියලා දැනුණු සනුලිට ලස්සන හිනාවක් ගියේය.
"අපෝ නෑ. එයා බැඳලා. පොඩි පුතෙකුත් ඉන්නවා."
සනුලි කිව්වේ එච්චරයි. අභිලාශ් ඩිවෝස් වෙලා ඉන්නේ කියන කතාව දැනගෙන හිටියත් සනුලි ඒක කියන්න ගියේ නැත. ඒත් සනුලිගේ ලස්සන හිනාව දිහා උඩ ඉන්න අභිලාශ් වගේම සනුලි ළඟ හිටපු මනමාල මහත්තයත් බලාගෙන හිටියා කියන්න සනුලි දැනගෙන හිටියේ නැත.
********
"ඒවනම් ඉතින් කරගෙන යනවා ආන්ටි, අප්පච්චි කරගෙන ගියා වගේම."
"හ්ම්… ඔව් අප්පුහාමි අයියා ඉතින් පිළිවෙළට වැඩ කරපු මනුස්සයනේ."
"ඔව් අංකල්. ඒත් ඉතින් අප්පච්චි තරම් හොඳටනම් මට කරන්න අමාරුයි."
"පුතා එහෙම කිව්වට මටනම් හිතෙන්නේ අප්පුහාමි අයියා කරන කාලෙට වඩා දැන් මේ හැමදේම දියුණුයි කියලා."
"අංකල්ට එහෙම හිතෙනවද..?"
"ඔව් මට එහෙම හිතෙනවා පුතා. ඉතින් දැන් එතකොට පුතාගේ මංගල්ලේ කටයුතු කොහොමද..?"
"ඒකට තාම දිනයක් නෑ අංකල්. මම කොහොමත් හිතාගෙන ඉන්නේ නංගිගේ කටයුතු ඉවර වෙනකම් ඒ ගැන හිතන්නේ නැහැ කියලා."
"හ්ම්… ඒත් දැන් සෑහෙන කල් නේද පුතා ඔය සම්බන්ධෙට."
"ඔව් ඉතින්. ඒක අපේ අප්පච්චි ඒ කාලෙම තීරණය කරපු එකක්නේ අංකල්."
මනමාලයගේ කට්ටියට හදලා තිබ්බ කෑම මේසෙ ඉඳගන්න එන්න බෑ කියලා අභිලාශ් කොච්චර කිව්වත් රුවන්ගෙන් අභිලාශ්ට ගැලවීමක් තිබ්බේම නැත. අන්තිමට අකමැත්තෙන් වුණත් අභිලාශ්ටත් ඒ මේසෙන්ම ඉඳගෙන දවල්ට කෑම කන්න සිද්ධ වුණි.
ජයටම හදලා තිබුණ කෑම මේසෙ අභිලාශ් කැමතිම කෑම ගොඩක් තිබුණත් අභිලාශ්ට අතින් කෑම කාලා පුරුදු නැති එක ලොකු ප්‍රශ්නයක් වුණි. උදේ ඉඳන් කාපු කට්ටේ හැටියට කෑම සුවඳ එනකොට අභිලාශ්ගේ කටට කෙළත් උනනවා අභිලාශ්ට තේරුණි.
අනික් අය වගේම කෑම බෙදා ගත්තත් අභිලාශ් හිටියේ ලොකු අපහසුතාවයකිනි. පුංචි කාලේ ඉඳලම තාත්තා පුරුදු කරලා තිබුණ පුරුද්ද නිසා අභිලාශ් කවදාවත් කෑම අතින් කාලා තිබුණේ නැත.
"සෝමපාල හේමාට කියන්න හැන්දකුයි ගෑරුප්පුවකුයි ගේන්න කියලා. දොස්තර මහත්තයට අතින් කාලා පුරුදු නෑ." බත් එක බෙදාගෙනත් කෑම කන්නෙ නැති අභිලාශ්ව දැක්කම රුවන්ගේ මතකය අතීතයට ගියේ ඉබේටමය.
"හොඳමයි හාමු."
"ඕනෑ නෑ රුවන්. මම අතින් කන්නම්."
"පිස්සුද බං. මම නොදන්නවද උඹ ගැන. මට අද වගේ මතකයි, කැම්පස් එකේදී උඹව මුලින්ම රැග් කළේ ඕකට. ඒත් උඹට ඒ පුරුද්ද අතහරින්න බැරිව ගියානේ."
"ඔව් ඒ පුරුද්ද තාමත් එහෙම තමයි බං. ඒක අපේ තාත්තාගෙන් ආපු පුරුද්දක්."
කුස්සියට ගිය සෝමපාල අංකල් හැන්දකුයි ගෑරුප්පුවකුයි ගෙනත් අභිලාශ්ට දුන්නත් අභිලාශ්ගේ මූණ දිහා කෙළින් බැලුවේනම් නැත.
අභිලාශ්ගේ ඉස්සරහින්ම කෑම මේසෙ ඉඳගෙන හිටිය සනුලිට ඔළුව උස්සලා අභිලාශ් දිහා බලන්න තරම් හිතේ හයියක් තිබුණේ නැත. සනුලිට අභිලාශ්ගේ මූණ දිහා කෙළින් බලන්න ඕන කමක් තිබුණත්, පැහැදිලිව ඒ මූණ දකින්න ඕන කම තිබුණත්, අද උදේ වෙච්ච දේත් එක්ක මූණ දෙන්න බැරි අපහසුවක් සනුලිගේ හිතට දැනුණි.
අභිලාශ්ටත් මේ චන්ඩි කෙල්ලගේ මූණ හරියටම බලාගන්න ඕන කම තිබුණත් සනුලි අභිලාශ්ට මූණ දෙන්නේ නැති නිසා ඒකට චාන්ස් එකක් හම්බ වුණේ නැත. ඒ වගේම සනුලි කියන්නේ එක තැන එක මොහොතක් ඉන්න පුළුවන් කෙනෙක් නෙමේ කියලා අභිලාශ්ට තේරුණේ ඒ නොසන්සුන් හැසිරීම් රටාව දකිනකොටමයි.
"එතකොට දොස්තර මහත්තයා බැඳලා නැද්ද..?"
මනමාලයගේ අම්මා ඒ අහපු ප්‍රශ්නෙටනම් අභිලාශ්ව ගැස්සිලා ගියේය. අප්පුවා කලින් මොනවා කියලා තියෙනවද කියලා දැනගෙන හිටියේ නැති නිසා ඇත්ත කියනවද නැද්ද කියන ප්‍රශ්නෙ ගාව අභිලාශ් අසරණ වුණි.
"අපොයි… අභී බැඳලා බබෙකුත් ඉන්නවා. එයා බැඳලා ඉන්නෙත් ඩොක්ටර් කෙනෙක්. ඒකනේ මම කිව්වේ මුන්ගේ පවුලම දොස්තරලා."
අභීගේ හැසිරීමෙන් වෙනස තේරුම් ගත්ත රුවන් හැමෝටම ඇහෙන්න කිව්වේ අභිලාශ්ට පොළොස් දීසිය දෙන ගමන්ය. ඒ වගේම පළවෙනි වතාවට තමන්ගේ ගෙදරට ආපු යාළුවගේ හිත රිදෙනවට රුවන් පොඩ්ඩක්වත් කැමති වුණේ නැත. ඒ වගේම මේ මාතෘකාව අභීගේ මානසික ආතතිය වැඩිම වෙන මාතෘකාව කියලා රුවන් දැනගෙන හිටියේය.
"එතකොට අද නෝනයි බබයි ආවේ නැද්ද.."
"අ.. අහ් නෑ අංකල්."
"මුගේ නෝනයි බබයි වැකේෂන් එකට රට ගිහින්. අභියා ඉතින් රාජකාරිය දාලා කොහෙවත් යන්නේ නෑනේ. මූට එහෙම යන්නත් බෑනේ. ළමා ඩොක්ටර් කෙනෙක් කියන්නේ ලොකු වගකීමක්නේ අංකල්. මෙහෙ ආවෙත් මේ නොකරම බැරි වැඩක් තියෙන නිසා."
අභිලාශ් හිනාවකින් හැමදේටම උත්තර දුන්නා මිසක් මුකුත්ම කියන්න ගියේ නැත. මේ මොහොතේ කවුරු මොනවා ඇහුවත් අප්පුවා ඒක බැලන්ස් කරනවා කියලා අභිලාශ්ට තේරුණි.
"ඒක නෙමෙයි. අපි දැන් වැදගත්ම කතාවට බහිමුකෝ. දැන් මේ ජෝඩුව මොකක්ද මේ යෝජනාව ගැන කියන්නේ?"
කට්ටියම කෑම මේසෙ මොනවා කතා කළත්, මොනවා කෑවත් සනුලිගේ හිත තිබුණේ ක්‍රිකට් මැච් එකේය. ඒක නිසා කෑම එක අත ගෑවා මිසක් එක බත් කටක්වත් කන්න උවමනාවක් සනුලිට තිබුණේ නැත. කෑම මේසෙට එහායින් තිබ්බ ලොකු ජනේලෙන් සැරින් සැරේට එළිය බලන සනුලිව දැක්කම අභිලාශ්ට හිනා යන්න ආවත් අභිලාශ් ඒ හිනාව තද කරගත්තේය. අප්පුවා මොනවා ඇහුවත් ඒ කිසිම දෙයක් සනුලිගේ ඔළුවට ගියේ නෑ කියන්න තේරුණේ අභිලාශ්ට විතරය. ඒ නොයිවසිලිමත් දෑස් කාවහරි හොයනවා කියලා අභිලාශ්ට සිතුණි.
"අපේ නම් ඉතින් අකමැත්තක් නෑ රුවන් පුතා. මොකද අපි නන්නාදුනන මිනිස්සු නෙමේනේ. අනික මේ දෙන්නා වුණත් පුංචි කාලේ ඉඳලා දන්න අඳුනන දෙන්නෙක්නේ."
"දැන් එතකොට පැතුම් මල්ලි මොකද මේ ගැන කියන්නේ?"
"මගේ නම් අකමැත්තක් නෑ රුවන් අයියේ. සනුලිට ඉතින් මම කවදත් කැමැත්තෙන් හිටියානේ."
"එතකොට අපේ සනුලි මොකද කියන්නේ?"
"අ… හ්.. මොකක්ද…?"
"මම අහන්නේ ඔයා මොකක්ද මේ යෝජනාව ගැන කියන්නේ?"
"ම.. ම.."
"ඔව්. ඔයා තමයි තීරණය කරන්න ඕනා. මම ඒකට නම් බලපෑම් කරන්නේ නෑ ආන්ටි. මොකද එයානේ ජීවත් වෙන්නේ. ඒ නිසා එයයි තීරණය කරන්න ඕනා."
"මම තව ටිකක් හිතලා කියන්නම් අයියේ."
"හ්ම්… ඔව්. මේ වගේ තීරණයක් එක පාරට ගන්න බැහැනේ. ඔයා හොඳට හිතලා බලලා කියන්න."
"සනුලි දුවට ඉතින් අපේ පුතාට අකමැති වෙන්න දෙයක් නෑනේ. හැමදේම ගැලපෙනවනේ."
සනුලි ඒකට උත්තර දුන්නේ හිනාවකිනි. ඒ හිනාවනම් පුදුම තරම් ලස්සනයි කියලා අභිලාශ්ට සිතුණි. නිකේශලාගෙන් ඩිවෝස් වුණාට පස්සේ පැහැදිලිව ගෑනු ළමයෙක් දිහා බලපු පළවෙනි වතාව මේක කියලා අභිලාශ්ගේ හිත කීවේය. වයසින් වැඩුණත් තාමත් සනුලිට තියෙන්නේ අවුරුදු 17ක 18ක පුංචි කෙල්ලෙක්ගේ ගතිගුණ කියලා එක වචනයක්වත් කතා නොකළාට අභිලාශ් ඒ වෙනකොටත් තේරුම් අරගෙන තිබුණි.
කෑම කාලා ඉවර වෙලා කට්ටිය සතුටු සාමීචියේ යෙදෙනකොට අභිලාශ් හෙමීට නැඟිටලා මිදුලට ආවේ එතැන අභිලාශ්ට වැදගත් තරමේ කතාවක් තිබුණේ නැති නිසාය. මැණික්, තේ දළු කියන්නේ අභිලාශ්ගේ ජීවිතයට අලුත්ම අලුත් දේවල්ය. ඒත් මේ පළාතේ මිනිස්සුන්ගේ ජීවිතයට බද්ධ වෙච්ච දේවල්ය.
අප්පුවගේ ගේ වටේටම තිබුණේ ලස්සනට කොළ පාටට වැඩුණු ගස්කොළන්ය. එක ගෙයක්වත් පැලක්වත් පෙනෙන්නට තිබුණේ නැත. සෝමපාල අංකල් කිව්ව හැටියට මේ පෙනෙන තෙක් මානයේ තියෙන බහුතරයක් ඉඩකඩම් අප්පුවගේය. හවස 3ත් පහු වෙලා කියලා අත් ඔරලෝසුව දිහා බලපු අභිලාශ් එයාටම කියා ගත්තේය. කිසිම සද්දයක් බද්දයක් නැත. නිදහසේ ඉන්න කෙනෙකුට කියාපු පරිසරයකි. "කොළඹ මේ වෙනකොට පටන් ගන්න වාහන තදබදය ඉවරවෙනකොට රෑ 8 9 වෙනවා. කොළඹ ඉන්න අපි ඉන්නේ අපායක කියලා හිතෙන්නේ මෙහෙම පරිසරයක් දකිනකොට තමයි" අභිලාශ්ගේ හිත කීවේ පසුතැවීමෙනි. හෙමින් හෙමින් වත්තේ ඇවිදගෙන ගිය අභිලාශ් ඉස්සෙල්ලා සනුලියි මනමාලයයි ඉඳගෙන හිටිය බෙන්ච් එකෙන් ඉඳගත්තේ හිතට දැනුණු සැහැල්ලුවෙන්මයි.
එත් බැට් එකකුයි, බෝලෙයි, විකට් කූරු වගයකුයි අරගෙන ගේ පිටිපස්සෙන් වත්ත පැත්තට යන සනුලිව දැක්ක නිසා අභිලාශ් බෙන්ච් එකෙන් නැඟිටලා ඒ පැත්තට ගියේ ගෙදර ඔක්කොටම හොරෙන් කෙල්ල මොකක්ද කරන්න යන්නේ බලන්නටය.
අභිලාශ් පිටිපස්සෙන් එනවා කියලා දැනගෙන හිටියේ නැති සනුලිට ඕනෑ වුණේ ඉක්මනින් මේ ටික පොඩි උන්ට දෙන්න විතරය. අද මේ යන විදියට සනුලිට සෙල්ලම් කරන්න යන්න වෙන්නේ නෑ කියලා සනුලි දැනගෙන හිටියාය. හීන් මැණිකේ නැන්දලා දැන් ගියත්, ඒ ගියාට පස්සේ අයියගේ යාළුවා උදේ වෙච්ච දේවල් අයියට කිව්වම ආයේ කාලෙකට සෙල්ලම හම්බවෙන්නේ නෑ කියලා සනුලි දැනගෙන හිටියාය.
කාලෙකින් තණකොළ කපලා තිබුණේ නැති ගේ පිටිපස්සෙන් ඔසරියත් ඇඳගෙන යනවා කියන්නේ එපාම කරපු වැඩකි. ඒත් තමන්ට නැතත් පොඩි අයගේ විනෝදය නැති කරන්න සනුලිට හිත දුන්නේ නැත. ඒ නිසා අමාරුවෙන්ම ඔසරි පොටත් කර වටේට දාගෙන, ඔසරිය උස්සගෙන වැට අයිනට වෙනකම් ආවේ පොඩි උන්ට එතැනට එන්න කියලා සෝමපාල අතේ පණිවිඩයක් යැව්ව හින්දාය. සනුලි එතැනට යනකොටත් ටිකිරියි, මද්දුයි එතැනට ඇවිත් හිටියෝය.
"ඇයි.. සනුලි අක්කා අද සෙල්ලම් කරන්න එන්නේ නැද්ද…?"
"අද විතරක් නෙමෙයි මද්දු. ටික කාලෙකට ආයේ එන්න බැරි වෙයි."
"ඒ මොකද ඒ…?"
"ඔයාලා මනමාලයා කියලා අයියගේ යාළුවව පටලගෙන කරපු වැඩේ නිසා."
"ඒ මොකද ඒ.. ඒ මහත්තයා මුදලාලි හාමුට කිව්වද..?"
"තාමනම් කිව්වේ නෑ. ඒත් මනමාලයගේ කට්ටිය ගියාම කියයි."
"සනුලි අක්කා ඒ මහත්තයව ශේප් කරගන්න බැලුවේ නැද්ද…?"
"අභිලාශ් අයියා එහෙම කතා බහ කරන කෙනෙක් නෙමේද කොහෙද. එයා කාමරේ ඉන්නකොට මම අත වැනුවා. එයත් අත වැනුවා. ඒත් හිනා වුණේවත් නෑ. එක්කෝ උදේ වෙච්ච දේ නිසා තරහා ගිහින් ඇති."
"අපරාදේ. අපි නිසා තමයි ඔක්කොම."
"ඒකට කමක් නෑ. ඔයාලා සෙල්ලම් කරන්න. මම යන්නම්. අයියා මාව හොයනවා ඇති."
සෙල්ලම් කරන්න නැති එක ගැන හිතේ දුක තිබ්බත් සනුලි ආපහු හැරුණේ පොඩි උන්ට වෙනසක් පෙන්වන්නේ නැතුවය. එතැනින් එහාට වෙන්න තිබුණ ලොකු කොස් ගහ පිටිපස්සට වෙලා මේ හැම දෙයක්ම අභිලාශ් අහගෙන හිටියේ කියන්න සනුලි දැනගෙන හිටියේ නැත.
පොඩි උන්ට ක්‍රිකට් බඩු ටික දීලා ආපහු එන සනුලි දිහා අභිලාශ් බලාගෙන හිටියේය. දඟකාර වුණාට හරිම අහිංසක කෙල්ලකි. කෙල්ල අප්පුවට තියෙන බය හිතාගන්න පුළුවන් මේ කරපු වැඩෙන්ම.
අයියා හොයන්න කලින් ගෙදරට යා ගන්න ඕන නිසා ඉක්මනින් ගේ පැත්තට ඇවිදගෙන ආපු සනුලිව අභිලාශ් හිටිය කොස් ගහේම මුලක හැප්පිලා විසි වෙලා ගියේ අභිලාශ් හිටිය පැත්තටමය. අභිලාශ් අල්ලා නොගත්තනම් සනුලි වැටෙන්නේ ඊට එහා පැත්තේ තිබුණ කොන්ක්‍රීට් ලෑල්ල උඩටය. නොහිතපු මොහොතක වෙච්ච දෙයින් බය වෙච්ච සනුලි අභිලාශ් දිහා බැලුවේ බය වෙච්ච මුව පැටියෙක් වගේය.
ඒ අහිංසක මූණ හරියටම අභිලාශ්ට පෙනුණේ ඒ වෙලාවේය. බය වෙච්ච ලොකු ඇස් දිලිසෙනවා කියලා අභිලාශ්ට සිතුණි. කවදාවත් නැතුව අභිලාශ්ගේ හිතට අමුතුම හැඟීමක් දැනෙනකොට අභිලාශ් ඉක්මනට සනුලිව නැඟිට්ටවලා සනුලි ළඟින් ඈත් වුණි. අභිලාශ්ගේ පපුව තාමත් ගැහෙනවා අභිලාශ්ට තේරුණි. කවදාවත් ඒ වගේ හැඟීමක් අභිලාශ්ට දැනිලා තිබුණේ නැත.
"T…. Thank you අභිලාශ් අයියේ."
"It's ok නංගි. පරිස්සමෙන් යන්න. අඩි උස සපත්තු දාලා මේ වගේ තැන්වල ඇවිදින්න අමාරුයි. තව පොඩ්ඩෙන් මනමාලයාට සමුදෙන්න යන්න වෙන්නේ ඔළුවත් පලාගෙන."
ආපහු සාමාන්‍ය තත්ත්වයට පත්වෙන්න හදන ගමන් අභිලාශ් කිව්වේ හිනාවෙලාය.
අභිලාශ්ට මුකුත්ම කිව්වේ නැති සනුලි බැලුවේ එයාගේ අත දිහාය. වැටෙන්න ගිය වෙලාවේ එතැන තිබුණ ගහක වැදුණු අත සීරිලා ලේ ඇවිත් තිබුණි.
"කෝ බලන්න.."
අභිලාශ් සනුලිගේ අතේ තුවාලේ බලන්න හැදුවත් අත පිටිපස්සට කර ගත්ත සනුලි අඩියට දෙකට ගේ පැත්තට දිව්වාය.
*********
"මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."

Comments
Post a Comment