21 වන දිගහැරුම
මේඝගේ මුවින් පිටවූ ඒ කෑගැසීම කාමරයේ බිත්ති අතර දෝංකාර දී එක මොහොතකින් නිහඬ විය. එහෙත් ඒ නිහඬතාවය සාමාන්‍ය එකක් නොවීය, එය මරණයක සීතල දරාගත් අද්භූත නිහඬතාවයකි. තවමත් රතු මැණික අතේ තදින් මිරිකාගෙන ගල් ගැසී සිටි මේඝ දෙස මාධව බලා සිටියේ බිය මුසු වූ වේදනාවකිනි.
හදිසියේම, කාමරයේ කොනක වූ අඳුර ඝන තිරයක් මෙන් එකට එකතු වන්නට විය. කාමරයේ තිබූ හුස්ම ගත හැකි උණුසුම ක්ෂණයකින් වියැකී ගොස්, ඇට මිදුළු සිඳෙන තරමේ මහා ශීතලක් වටාපිටාව වෙලා ගත්තේය. ඒ අඳුරේ ගැඹුරින්, යම් අමනුෂ්‍ය චලනයක් සමඟ පියදාසගේ රූපය මතුව ආවේය. ඔහුගේ සිරුර යථාර්ථය සහ මිත්‍යාව අතර දෝලනය වන අස්ථිර ඡායාවක් වැනිය.
පියදාසගේ මුහුණේ ඇඳී තිබුණේ වචනයෙන් විස්තර කළ නොහැකි තරම් බරැති ශෝකයකි. දශක ගණනාවක් තිස්සේ තමන් පමණක් දරා සිටි රහස්වල බර ඒ මැලවුණු දෑස්වලින් කියැවිණි. අඩි බිම නොතබා, අදෘශ්‍යමාන රැල්ලක පාවී එන්නාක් මෙන් ඔහු පැමිණ මේඝ අභියස නතර විය. ඔහුගේ දෑසින් කඳුළක් වැටුණේ නැත; ඒ වෙනුවට ඔහුගේ මුහුණ පුරාම තැවරී තිබුණේ කිසිවෙකුට දරාගත නොහැකි වූ මහා වගකීමේ බරකි.
"පියදාස... මොකක්ද මේ වෙන්නේ? මේ විකාරය මොකක්ද? දැන්වත් මට ඇත්ත කියන්න!" මේඝගේ හඬ කම්පනයෙන් වෙව්ලුවත්, ඒ තුළ තිබූ දැඩි බව ඔහුගේ අභ්‍යන්තරයේ වූ කෝපය සහ වේදනාව විදහා දැක්වීය.
පියදාසගේ ආත්මය අතීතයේ දොරගුළු ලිහන්නට පටන් ගත්තේය. ඔහුගේ හඬ කාමරය තුළ නොව, මේඝගේ සිත තුළම දෝංකාර දුන්නේය.
"මේ හැමදේම ඔබ දැන ගත යුතුම වෙලාව ඇවිත්. ඒ මගේ මිනිබිරිය සුලෝචනා... ඇය අතුරුදන් වෙලා වසරක් එකහමාරක් ගත වුණා විතරයි. එදා අහස ගිගුම් දුන් මහා වැස්සක් වැටුණු ඒ භයානක රාත්‍රියේ, මන්දිරයේ උමඟ ඇතුළෙන් මට ඇසුණේ දරුවෙකුගේ හඬක්. මගේ පපුව ගැහෙන සද්දේ මටම ඇහෙද්දී, මම බියෙන් වෙව්ලමින් උමඟට බැස්සා. එතන හිටියේ මගේ මිනිබිරිය... සුලෝචනා. ඇය ගල් දොර අද්දර වැතිරිලා වැළපෙනවා. ඇයගේ ලේ තැවරුණු දෑත්වල ඔතාගෙන හිටියේ අහිංසක පිරිමි දරුවෙක්."
ඔහුගේ ආත්මීය හඬ අඳුරේ දිය වෙමින් වෙව්ලන්නට විය. "මම ඒ වෙනකොට හිතාගෙන හිටියේ ඇය ඒ වන විටත් මියගිහින් කියලා. ඇය දැක්කම මට ඇතිවුණේ විස්තර කළ නොහැකි සතුටක්. ඒත් එදා ඇයට මට කතා කරන්නවත් ඉඩක් ලැබුණේ නෑ. ඇය මගේ ඇස් දෙස බලා ආයාචනා කළා, 'මේ දරුවාව බේරගන්න... මෙතනින් පිටකරන්න' කියලා. මට ඒ කිසිම දෙයක් හිතා ගන්න බැරි වුණා. කලබලයෙන් වගේ ඇයගේ ගෙල බැඳි ඒ මාලය ගලවා දරුවාගේ කරේ දැමුවේ ඇයමයි. ඇය කිව්වා, මේ දරුවා කවදාවත් කාටවත් සොයාගන්න බැරි තැනක හැදෙන්න ඕනේ කියලා. අන්තිමේදී, ඇය මාවත් දරුවාවත් බලහත්කාරයෙන් වගේ උමඟෙන් එළියට තල්ලු කරලා, ඒ ගල් දොර වසාගත්තා. ඒදා තමයි මම ඇයව අවසන් වතාවට දැක්කේ."
පියදාස නිහඬ විය. ඔහුගේ දෑස් අතීතයේ දූවිලි පිරි, ලේ තැවරුණු ඒ රහස් උමඟේ සදාකාලික අඳුර දෙස බලා සිටියේය. "දරුවා කොහේ දාලා එනවද කියලා මට හිතාගන්න බැරි වුණා. ඒත් මම පුළුවන් ඉක්මනින් දරුවව අරගෙන මන්දිරෙන් පිට වුණා. මම ඔහුව බාර දුන්නේ මට ලේ උරුමයක් තිබූ එකම කාන්තාවට. ඒත් මම ආපහු මන්දිරයට එනකොට උමඟේ ලේ පැල්ලම් විතරයි තිබුණේ... සුලෝචනා අතුරුදන් වෙලා. මම කෑගගහා ඇයව හැමතැනම හෙව්වා. මට දරාගන්න බැරි වුණා. වීරසිංහ මහත්තයා විතරයි මට හිටිය එකම හයිය. මම ඔහුව මුණගැහිලා ඔහුට හැමදේම කිව්වා. ඒත් දරුවා ගැන එක වචනයක්වත් කිව්වේ නෑ. සුලෝචනාගෙ අවසන් අණ වුණේ ඒක නිසා මම ඒ වචනෙ රැක්කා."
"එතකොට වීරසිංහ මොකද කිව්වෙ?" මේඝ විමසීය.
"ඔහු කිව්වා මට මන්දිරේට යන්න කියලා. ඔහු පොලිසියත් අරන් ඉක්මනින් එන්නම් කිව්වා. ඒත්... මම නැවත මන්දිරයට එද්දී ඒ අඳුරු සෙවනැල්ල මාව අල්ලගත්තා. ඒ කළු ලෝගුකාරයා. ඔහු මට ගැහුවා, දරුවා කොහෙද කියලා ඇහුවා. ඒත් මම වචනයක්වත් කිව්වෙ නෑ. ඔහු මට හොඳටම පහර දුන්නා. ඒ පහර දීම්වලින් මම මියගියා. මාව මරලා අන්න අතන ගහ යට වලලනවා මම මගේම ඇස් දෙකෙන් බලාගෙන හිටියා. එදා ඉඳන් මගේ එකම අරමුණ වුණේ දරුවා රැකීම විතරයි. මම ඔහු ඉන්න තැනක හිටියා. ඔහුගේ හදවතේ ගැහෙන මේ මැණිකේ කොටසට මම බැඳිලා හිටියා."
මේඝගේ හඬ තැතිගැන්මෙන් වෙව්ලන්නට විය. "එහෙනම්... ඒ දරුවා කවුද පියදාස?"
පියදාසගේ දෑස් මේඝ වෙත යොමු විය. එහි තිබුණේ අසීමිත වූ ගෞරවයකි, ආදරයකි. "ඔබ හිතුවා හරි, ඒ දරුවා... වෙන කවුරුත් නෙමෙයි ඔබයි මේඝ මහත්තයා. ඔබ දන්නේ නැහැ, ඔබ කුඩා කාලේ ඉඳන්, මම ඔබව ආරක්ෂා කළා. ඔබ තබන හැම පියවරකම මම ඔබත් එක්ක හිටියා. ඒත් දැන් මගේ මෙහෙවර අවසන් වෙන්න ලඟයි. මේ මැණික ඔබ සුරක්ෂිත කරන මොහොතේ, මටත් ඒ අඳුරු බැඳීම්වලින් සදහටම නිදහස ලැබෙනවා."
කාමරයේ නිහඬතාවය තව තවත් තීව්ර විය. මේඝ තමන්ගේ දෑත් දෙස බලා සිටියේ, තමන් කවුදැයි යළි පිරික්සන්නාක් මෙනි. තමාගේ මුළු ජීවිතය පුරාවටම තමන් පසුපස හෙවණැල්ලක් මෙන් පැමිණි ඒ අද්භූත බලවේගය, ඇත්ත වශයෙන්ම තමන්ගේම ලේ උරුමය රැකගත් මහා ආරක්ෂකයෙකු බව ඔහුට වැටහිණි. මේඝගේ ඇස්වලින් ගලා ගිය උණුසුම් කඳුළු බිඳු කිහිපයක් පාලනය කරගත නොහැකිව බිමට වැටිණි. ඔහුගේ පපුව ඇතුළේ තිබූ වේදනාව සහ පුදුමය දරාගත නොහැකි බරක් වී ඔහුව මිරිකා ගත්තේය. මාධව ඔහුගේ උරහිස මත අත තැබුවේ 'මම උඹ සමග සිටිනවා' යන සහතිකය ලබා දෙමිනි.
"එ.. එ.. ඒ කියන්නේ මේ ඉන්නේ මගේ මුත්තා... සුලෝචනා කියන්නේ මගේ අම්මා..." මේඝගේ හඬ බිඳී ගියේය. පියදාසගේ ආත්මයත්, සුලෝචනාගේ කැපවීමත්, තමන්ගේම රුධිරයේ උරුමයක් බව තේරුම් ගන්නා විට මේඝගේ ලෝකයම අත්තිවාරමෙන් ගැලවී කඩා වැටෙන්නාක් මෙන් ඔහුට දැනිණි. ඔහු තමන් ඉදිරියේ සිටින පියදාසගේ වියෝ වූ රූපය දෙස බැලුවේ දයානුකම්පාවෙනි. "අනේ පියදාස... ඔබ මෙපමණ කලක් මේ බර උසුලාගෙන මගේ සෙවනැල්ලක් වගේ පිටුපසින්ම සිටියාද?"
මාධව පවා මේ සියල්ල අසා සිටියේ ගල් ගැසී ය. මේඝගේ ජීවිතය වටා බැඳී තිබූ ඒ අද්භූත අඳුරු තිරය දැන් ඉරී ගොස් හමාරය. ඔහු තවදුරටත් සාමාන්‍ය මිනිසෙක් නොවේ, ඔහු පරම්පරා ගණනාවක උරුමය දරා සිටින සටන්කරුවෙකි. මෙය ඔහුට අහම්බෙන් පැවරුණු රාජකාරියක් නොව, ඔහුගේම ලේ උරුමය ඔහුව මෙතෙක් රැගෙනවිත් තිබූ බව ඔහුට වැටහිණි. මේඝ පියදාස දෙස බලා හඬ අවදි කළේය.
"මම ඔබව නිදහස් කරනවා පියදාස. මේ රහස, මේ මැණිකේ බලය... මම එය සුරක්ෂිත කරනවා. ඒ වෙනුවෙන් මගේ ජීවිතය පූජා කරන්න වුණත් මම පසුබට වෙන්නේ නැහැ. මගේ අම්මා සහ මුත්තා වෙනුවෙන් මම මේ සටන දිනනවා."
පියදාසගේ රූපය දැන් අඳුරේ ක්‍රමයෙන් මැකී යන්නට විය. නමුත් ඒ රූපයේ තිබූ බිය පහව ගොස්, ඒ වෙනුවට මහා සැනසීමක් පිරී තිබිණි. මේඝ තමන්ගේ අතේ තිබූ මැණික දෙස බැලුවේය. එහි රතු ආලෝකය දැන් පෙරටත් වඩා තීව්ර වී, ඔහුගේ හදවතේ ගැහෙන රාවය සමඟ එක්වෙමින් තිබුණි. පියදාසගේ රූපය සම්පූර්ණයෙන්ම වාතයේ දියවී යාමට පෙර, මේඝ ඔහු දෙසට දෑත් දිගු කළේය.
"පියදාස! නතර වෙන්න! මගේ තාත්තා කවුද? ඔහු ගැන වචනයක්වත් ඔබ දන්නේ නැද්ද?"
පියදාසගේ මැකී යන මුහුණේ ඇඳුණේ වේදනාත්මක සිනහවකි. "මේඝ... පුතේ..." පියදාසගේ හඬ ඈතින් ඇසෙන දෝංකාරයක් මෙන් විය. "මම දන්නේ නැහැ. සුලෝචනා නෝනා ඒ රහස ඇයගේ පපුව තුළම හිර කරගෙනයි මැණිකට එකතු වුණේ. ඇය මට කිව්වේ මේ දරුවා මේ මිහිපිට ඉපදුණේ අහම්බයකින් නෙමෙයි, ඉරණමකින් කියලා විතරයි. තාත්තා කවුද කියන එක හෙවීම නතර කරන්න. දැන් ඔයාගේ එකම පරමාර්ථය විය යුත්තේ මැණික ආරක්ෂා කරගෙන මේ කළු ලෝගුකාරයාගෙන් බේරෙන එක විතරයි. තාත්තා කවුද කියන එකට උත්තරය ඔයාට එතකොට ලැබෙයි."
එම වචන ටිකත් සමඟම පියදාසගේ ආත්මය සම්පූර්ණයෙන්ම සාලයෙන්යෙන් අතුරුදන් විය. සාලය නැවතත් මහා නිහඬතාවයකින් පිරුණි. මේඝ දෑස් පියාගෙන බිම වාඩි වුණේය. තමන්ගේම පියා කවුදැයි නොදන්නා, නමුත් තමන්ව දඩයම් කරන්නට එන අඳුරු සෙවනැල්ලක උරුමයක් ඇති බව දැනගැනීම ඔහුට මහා බරක් විය.
*******
මහා වැස්ස නතර වීමේ කිසිදු ලකුණක් නොවීය. අහසින් කඩා වැටෙන දිය දහරාවන් පියදාසගේ සිරුර වැළලූ බිම මුළුමනින්ම ගිලගෙන තිබිණි. තෙත් වූ පස් තට්ටු මඩ වගුරක් බවට පත් වී තිබුණද, මේඝගේ සහ මාධවගේ දෑතේ තිබූ වේගය පාලනය කළ නොහැකි විය. ඔවුන්ගේ ඇඳුම් සිරුරටම ඇලී ගොස් තිබුණේ, මහ වැස්සේ තෙතමනයට වඩා ඔවුන්ගේ සිත්වල පැවති බරපතලකම වැඩි වූ බැවිනි.
මේඝගේ දෑස්වල තිබුණේ කුමන තරාතිරකමක වේදනාවක්දැයි වටහා ගැනීමට මාධවට නොහැකි විය. ඔහු සවල පොළොවට හෙළුවේ උමතු වූවෙකු මෙනි. පස් තට්ටු ඉවත් කරමින් ඔවුන් පොළොව ගැඹුරටම කිමිදෙමින් සිටියහ. මොහොතකින්, සවල යකඩයක වැදෙන "ටන්" යන හඬක් මහ වැස්සේ ගිගුරුම් හඬ අතරින් නිකුත් විය.
ඔවුන් එකිනෙකා දෙස බැලුවේ භීතියක් සහ අපේක්ෂාවක් මිශ්‍ර වූ දෑසිනි. මඩ වතුර මැදින් ඔවුන්ට හමුවූයේ දශක ගණනාවක් තිස්සේ පොළොව යට සැඟවී තිබූ පියදාසගේ වියැකී ගිය අස්ථි කොටස් කිහිපයකි. ඒ අස්ථි දෙස බැලූ මේඝගේ හුස්ම පවා හිර විය. ඔහුගේ ඇස්වලින් ගලා ආ උණුසුම් කඳුළු, මුහුණ දිගේ පහළට ඇදී ගොස් වැස්සේ දියවී ගියේය. ඔහුගේ ලේ කකියන්නට විය. ඒ කඳුළුවල තිබුණේ ශෝකය පමණක් නොව, තමාව රකින්නට ගිය අහිංසකයෙකුට සිදු වූ අසාධාරණය පිළිබඳ මහා කම්පනයකි.
මේඝ සෙමෙන් මඩ බිම දණ ගැසුවේය. පස් සහ මඩ තැවරුණු ඒ අස්ථි කොටස් දෙස ඔහු බැලුවේ අතිශය ගෞරවයකිනි. ඔහු තම හිස මඩ ගොහොරුව මත තබා ගත්තේ, හරියටම පියදාස තවමත් ජීවත්ව සිටින්නාක් මෙන් සිතාය.
"පියදාස..." මේඝගේ හඬ වැස්සේ ගිගුරුම් හඬට වඩා වේදනාකාරී විය. "ඔබ මේ මඩ ගොහොරුවේ දශක ගණනාවක් තිස්සේ නිදහසක් නැතුව, තනිකමෙන් මාව රකින්න වැළලිලා හිටියේ... මම කොච්චර අසරණද පියදාස! ඔබේ මේ අසරණකම දකින කොට මට දැනෙන වේදනාව මටවත් දරාගන්න බැහැ."
ඔහුගේ කටහඬ වෙව්ලන්නට විය. තම ජීවිතය බේරා ගැනීමට ගිය ඔවුන්ගේ ඒ කැපකිරීමේ සැබෑ බර දැන් ඔහුට දැනෙන්නට පටන්ගෙන ඇත. වැස්ස තව තවත් තීව්ර විය. මාධව නිහඬව මේඝගේ පිටුපසින් සිට ගත්තේය. ඔහුට මේ මොහොතේ වචන අවශ්‍ය නොවීය. මේඝ දෑස් පියාගෙන තදින් කෑ ගසන්නට විය. ඔහුගේ දෑත්වල තිබූ දැඩි බවත්, හදවතේ තිබූ වේදනාවත් එකට එකතු වී ඒ පරිසරයම ශෝකයෙන් වෙලා ගත්තේය.
"මම ඔබට ගෞරවනීය නිදහසක් ලබා දෙනවා පියදාස. ඔබේ මේ කැපකිරීම මම අපතේ යන්න දෙන්නෙ නෑ. සුලෝචනා අම්මගේ ලේ උරුමයත්, ඔබේ මේ කැපවීමත් වෙනුවෙන් මම මේ සටන දිනනවා."
මේඝ නැගිට්ටේය. ඔහුගේ දෑස්වල තිබූ ශෝකය වෙනුවට දැන් දැඩි අදිටනක් ආදේශ වී තිබුණි. ඒ මඩ සහ වැස්ස මැද තම ජීවිතයේ දරුණු අතීතය දරාගෙන සිටි මේඝ තුළ යම් මහා බලවේගයක් දරා සිටින සෙයක් පෙන්නුම් කළේය. ඔහු තවදුරටත් සාමාන්‍ය මිනිසෙක් නොවේ, ඔහු අතීතයේ දහස් ගණනක වේදනාව උරදරා ගත් රුධිර උරුමක්කාරයාය.
මාධව වහාම පොලිසියට පණිවිඩය යැවීය. මඳ වේලාවකට පසු, තෙත බරිත වූ නිල ඇඳුමින් සැරසුණු නිලධාරීන් කණ්ඩායමක් පැමිණියහ. ඔවුන් වහාම ක්‍රියාත්මක වී එම ස්ථානය වටා ආරක්ෂිත තීරුවක් ඇද, විමර්ශන කටයුතු ආරම්භ කළේය. පොලිස් නිලධාරීන්ගේ කඩිමුඩිය, ආලෝක ධාරා සහ පරීක්ෂණ උපකරණවල ශබ්දය මැද මාධව නිහඬව ඒ දෙස බලා සිටියේ, මේ සිදුවීම් දාමය තුළ තමන් අසරණ වී සිටිනා බවක් හැඟෙමිනි.
එහෙත් මේඝ ඒ කිසිවක් ගැන තැකීමක් නොකළේය. ඔහු මන්දිරයේ වැරැන්ඩාවේ කොනක තිබූ ගල් පඩියක වාඩි වී සිටියේය. පවතින සීතල හෝ වැස්සේ තෙතමනය ඔහුට නොදැනෙන්නාක් මෙනි. ඔහුගේ දෑස් යොමුව තිබුණේ උඩුමහලේ, අඳුරේ ගිලී තිබූ මන්දිරයේ ජනෙල් දෙසය. සුලෝචනාගේ අතුරුදන්වීම, පියදාසගේ බිල්ල සහ තමන්ගේ ලේවල සැඟවී ඇති රහස එකිනෙක ගැටගැසෙමින් තිබූ ඒ මොහොතේ, මේඝ ඒ හිස් බැල්මෙන් බලා සිටියේ අතීතයේ දොරගුළු ඇරෙන ශබ්දයට මෙනි. පපුවේ තිබූ වේදනාව සහ වගකීමේ බර ඔහුට තනිවම දරාගත නොහැකි තරම් විය.
දැන් මන්දිරය මළගමක නිහඬතාවයකින් වෙලී ඇත. පරීක්ෂණ රාජකාරියේ නිරත නිලධාරීන්ගේ පා සටහන් සහ ඔවුන් අතර හුවමාරු වන කටහඬවල් මැද, මේඝ තනිවම වැරැන්ඩාවේ ගල් පඩියක වාඩි වී සිටී. ඒ නිහඬතාවය කොතරම් තීව්‍රද යත්, මුළු මහත් ලෝකයම තමා වටා හිස් වී ගොස්, තමා පමණක් කාලයේ තනි වී ඇති බවක් ඔහුට දැනිණි.
එහෙත්, හදිසියේම ඔහුගේ සම මත හිරිගඩු පිපෙන අමුතුම හැඟීමක් දැනුණි. ඔහු පිටුපසින් කිසිදු ශබ්දයකින් තොරව සීතල හුළඟක් හමා ආවේය. ඒ හුළඟ සමඟ දැනෙනා ඒ අද්භූත ආගන්තුක බව, ඔහුට නුහුරු එකක් නොවේ. මේඝ හිස හරවා බැලුවේ නැතත්, පියදාසගේ ආත්මය අද වෙනදාටත් වඩා දහස් ගුණයකින් සමීපව තමා පිටුපසින් සිටගෙන සිටින බව ඔහුට දැනිණි.
"ඔයා මාව අතාරින්නේ නෑ නේද පියදාස?" මේඝ හුස්ම හිරවන රහසින් මෙන් මිමිණුවේය.
ඔහුගේ උරහිස අසලින් පියදාසගේ වියෝ වූ ආත්මය තරමක් නැඹුරු වී සිටියේය. පියදාසගේ ඒ ඡායාවේ දැන් තිබුණේ අතීතයේ දරා සිටි වේදනාව හෝ බර නොවේ, ඒ වෙනුවට මුළු ලොවම ජයගත් අන්දමේ මහා සැනසීමකි. කිසිදු වචනයක් පිට නොවූවත්, ඔහු පෙනෙන නොපෙනෙන මානයේ සිට, අඳුරේ ගිලී තිබූ මන්දිරයේ සෙවනැලි අතරේ නිහඬව බලා සිටියේ තම උරුමය සුරක්ෂිත බව තහවුරු කරමිනි.
මාධව පොලිස් නිලධාරීන් කණ්ඩායම සමඟ යම් කරුණක් සාකච්ඡා කරමින් නැවත ඔහු දෙසට ඇවිද එන අයුරු මේඝ බලා සිටියේය. ඒ දෙස බලා සිටියදී ඔහුගේ හදවත තුළ යම් දැඩි තීරණයක් ගොඩනැඟිණි; කුමක් සිදු වුවත්, කෙතරම් බාධක පැමිණියත් මේ අභිරහස තමාම අවසන් කරන බවට ඔහු තමන්ටම පොරොන්දු විය.
මාධව ඔහු අසලට පැමිණි විගස, මේඝ තරමක් නැගිට, යකඩයකින් මෙන් තද ස්වරයකින් මෙසේ පැවසීය: "මාධව, දැන් මගේ පොලිස් බලතල පාවිච්චි කරන්න වෙලාව හරි. මූලස්ථානයට දැනුම් දීපන්, මම අණ කරනවා කියලා, පුළුවන් ඉක්මනින් මේ පරීක්ෂණ වාර්තා මට ඕනෙ. අනිත් හැමදේටම කලින් මේක සිද්ධ වෙන්න ඕනෙ."
මාධව තිගැස්සී ගියේය. මේඝගේ හඬෙහි තිබූ ඒ දැඩි ස්වරය, අණ කිරීමේ ස්වභාවය ඔහුට අමුතු අත්දැකීමක් විය. ඔහු මේඝගේ මුහුණ දෙස බැලුවේය, එතෙක් තිබූ ශෝකය සහ වේදනාව මුළුමනින්ම ගිලිහී ගොස්, එහි තැන්පත් වී තිබුණේ යකඩ වැනි අධිෂ්ඨානයකි.
"හරි මේඝ... මම දැනටමත් ඒ ගැන සූදානම් වෙලා ඉන්නේ. අපේ මූලස්ථානයේ ඉහළම නිලධාරීන්ට මම පණිවිඩය යවනවා."
මාධව වහාම සිය ජංගම දුරකථනයෙන් මූලස්ථානයට ඇමතුමක් ගත්තේය. ඔහුගේ හඬේ තිබුණේ හදිසි අවශ්‍යතාවයක් සහ ඉහළ බලපෑමකි. "කසුන්, මම මාධව. අපි මන්දිරයේ තවත් දේහයක් සොයාගත්තා. මූලික පරීක්ෂණ වාර්තා මට පැය කිහිපයක් ඇතුළත ඕනෑ. මේක මේඝ සර්ගෙ ඉල්ලීමක් නෙමෙයි, අණක් කියන්න කිව්වා... ඒ අනුව සියලුම වාර්තා මුලින්ම ඔහු අතට ලැබිය යුතුයි."
දුරකථනය විසන්ධි කළ මාධව තෙත් වූ මුහුණ පිසදා ගනිමින් මේඝ අසලට පැමිණියේය. ඔහු මදක් අවිශ්වාසයෙන් යුතුව මේඝ දෙස බැලුවේය. "මම පණිවිඩය යැව්වා. අද රෑ වෙනකොට අපිට සියලුම වාර්තා ලැබෙයි. ඒත් මේඝ, පියදාසගේ ඇටකටු ලැබුණට පස්සේ... උඹ හිතනවද කළු ලෝගුකාරයා තවත් නිහඬව ඉඳීවි කියලා? ඌ දැන් දන්නවා ඇති අපි පියදාසව හොයාගත්තා කියලා. ඌ මේක ගණන් ගන්නේ නැතුව ඉඳීවිද?"
මේඝ වැරැන්ඩා පඩියෙන් තියුණු ලෙස නැගිට්ටේය. ඔහුගේ දෑස්වලින් විහිදුණු ඒ අමුතු තියුණු බව දැන් සාමාන්‍ය මිනිසෙකුගේ නොව, සටන්කාමියෙකුගේ දෑස්වලට සමානය.
"ඌ නිහඬව ඉඳීවි කියලා මම හිතන්නේ නෑ මාධව. ඒත් ඌට දැන් මාව හොයාගෙන එන්න ඕනේ නෑ... ඌව හොයාගෙන යන්න ඕනේ මම. පියදාසගෙ වාර්තා එනකම් පොඩ්ඩක් ඉවසපන්. ඒ වාර්තා එන මොහොතම තමයි, ඌට විනාශය ළඟා වෙන මොහොත."
********
මේඝ මන්දිරයේ ඉහළ මාලයේ, තම මවගේ කාමරයේ ජනේලය අසල වූ පැරණි පුටුවේ නිශ්චලව හිඳගෙන සිටියේය. වටපිටාව මහා නිශ්ශබ්දතාවයකින් වෙලී තිබුණත්, මේඝගේ සිත තුළ තිබුණේ මහා කුණාටුවකි.
ඔහු තම දෑත් දෙස බැලුවේය. මේ අත්වලින් ඔහු තමන්ගේම මුත්තාගේ ඇටකටු පස් යටින් ගොඩගත්තේය. පියදාස... දශක ගණනාවක් තිස්සේ තමන්ගේ සෙවනැල්ල මෙන් පසුපසින් ඇවිත්, මිය ගිය දා පටන් පවා තමන්ව ආරක්ෂා කළ ඒ මහා මිනිසා. ඔහුගේ කැපවීම, අසරණකම සහ අවසානයේ මේඝගේ අතේ මැණික දකින තුරු ඔහු විඳි වධ වේදනා මේඝට චිත්‍රපටයක් මෙන් මැවී පෙනුණි.
"මම කොච්චර අසරණවද මේ ලෝකෙ හැදුණේ..." ඔහු තමාටම මුමුණා ගත්තේය.
ඔහුගේ සිත දිව ගියේ තමන්ව කුඩා කල සිට හදා වඩා ගත් මව වෙතය. ඇය තමාව රැකගත්තේ තමන්ගේම ලේ කිරි කර පෙවූ ආදරයකිනි. එහෙත් අද, තමා දන්නා ඒ සෙනෙහසට පිටුපසින් තවත් රුධිර කතාවක් ඇති බව ඔහු දැනගත්තේය. සුලෝචනා... තමන්ගේ සැබෑ මව. උමඟේ අඳුරේ, ලේ තැවරුණු දෑතින් තමන්ව බේරාගෙන, තමන්ගේ ගෙල බැඳි මාලය මේඝට පවරා, අඳුරේම නැති වී ගිය ඒ අම්මා එදා මොන තරම් වේදනාවක් උහුලන්න ඇතිද.
මේඝට තමන්වම මහත් බරක් ලෙස දැනෙන්නට විය. මේ මන්දිරයේ ගල් පඩි, ඒ බිත්ති, මේ මැණිකේ බලය... මේ සියල්ල ඔහුට උරුම වූයේ යම් අභාග්‍යසම්පන්න ඉරණමකිනි. ඔහුට දැනුණේ තමන් යම් මහා පවුරක් පිටුපස සිරවී සිටිනා බවකි.
"ඇයි මටම මේ සියල්ල පැවරුණේ? මට මේ මැණික එපා... මට මේ උරුමය එපා. මට ඕන වුණේ සාමාන්‍ය මිනිසෙක් වෙන්න විතරයි."
ඔහුගේ දෑස්වලින් කඳුළු බිඳු වැටුණේ වියරු වැටුණු හිතක පීඩනය නිසාය. තමන් උසුලන මේ රුධිර උරුමය යනු රන් කිරුළක් නොව, හදවත මිරිකා දමන මහා බරක් බව ඔහුට වැටහිණි. පියදාසගේ මරණය, සුලෝචනාගේ අතුරුදන්වීම සහ තමාව දඩයම් කරන කළු ලෝගුකාරයා... මේ සියල්ලේම කේන්ද්‍රය වී ඇත්තේ තමන්ය.
ඔහු මන්දිරයේ විශාල දොරවල් දෙස බැලුවේය. අතීතයේ දොරගුළු ඇරී තිබේ. දැන් ආපසු හැරීමක් නැත. තම මවගේ රුධිරයත්, තමා හදාවඩා ගත් මවගේ කැපවීමත්, මුත්තාගේ බිල්ලත් වෙනුවෙන් සටන් කිරීමට ඔහුට සිදුව ඇත. නමුත් මේ සියල්ල දරාගත නොහැකි බරක් ලෙස ඔහුගේ පපුව මත තදින් තෙරපෙමින් තිබුණි.
"සුලෝචනා අම්මේ... ඔබ මට දුන්නේ උරුමයක්ද? නැත්නම් සදාකාලික සටනක්ද?"
ඔහු ඒ අඳුරු මන්දිරයේ සෙවනැලි දෙස බලා සිටියේ, තමා මේ ජීවිතයේ තනිවම සටන් කරන අසරණ රණශූරයෙකු බව තේරුම් ගනිමිනි. කළු ලෝගුකාරයා සමඟ සටන් කිරීමට පෙර, ඔහු මේ මොහොතේ සටන් කරමින් සිටියේ තම පපුවේ ගොඩගැසී තිබූ ඒ වේදනාත්මක අතීතය සමඟය.
එහි වාඩි වී සිටියද, ඔහුගේ මොළය තියුණු වේගයකින් ක්‍රියාත්මක වන්නට විය. එය වේදනාව, බුද්ධිය හා තර්කනය මත පදනම් විය. මෙතෙක් ඔහු සොයාගෙන තිබූ සෑම සාක්ෂියක්ම, සෑම අද්භූත සිදුවීමක්ම ඔහුගේ මනස නම් වූ පරිගණක තිරයේ දත්ත දාමයන් ලෙස පෙළගැසෙන්නට පටන් ගත්තේය. සමීකරණය පැහැදිලිය. එකිනෙකට සම්බන්ධ නොවූ සිදුවීම් දැන් එකම කේන්ද්‍රස්ථානයකට ගොනු වෙමින් තිබුණි.
මනස තුළ ගොඩනැගෙමින් තිබූ ඒ සංකීර්ණ දත්ත ජාලය එක මොහොතකින් තර්කානුකූල නිගමනයකට එළඹුණි. අඳුරු මන්දිරයේ පැවති නිහඬතාවය බිඳ දමමින්, ඔහු තමන් වාඩි වී සිටි පුටුවෙන් වේගයෙන් නැගිට්ටේය. ඔහුගේ දෑස්වල තිබූ ශෝකී බැල්ම අතුරුදන් වී, එහි තැන්පත් වූයේ තියුණු, විමර්ශනාත්මක සහ යකඩ වැනි අධිෂ්ඨානශීලී බැල්මකි. ඔහු හිස සෙලවූයේ යම් රහසක් හෝ විසඳුමක් හදිසියේම වටහාගත් මිනිසෙකුගේ අභිමානයෙනි.
"එයයි ඒකේ තියෙන එකම විදිය..." ඔහු තමන්ටම මුමුණා ගත්තේය.
මන්දිරයේ පඩිපෙළ බැස එන විට, මිදුල පුරාම රජයමින් තිබූ නිශ්ශබ්දතාවය තවත් තීව්ර විය. ඒ වන විට මාධව ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායම මන්දිරය වටා දැඩි ආරක්ෂක වළල්ලක් යොදා තිබුණේ, කිසිදු ආක්රමණිකයෙකුට මේඝගේ සටනට බාධා කිරීමට ඉඩ නොතබමිනි.
රහස් ඔත්තු නිලධාරියෙකුගේ වෙස් මුහුණ ගලවා දැමූ මාධව, දැන් සම්පූර්ණ නිල ඇඳුමෙන් සැරසී, පොලිස් විනයකින් යුතුව මේඝගේ ආගමනය බලා සිටියේය. මේඝ ප්‍රධාන දොරටුවෙන් එළියට පා තබනවාත් සමඟම, මාධව ඇතුළු එහි සිටි නිලධාරීන් සිව්දෙනා එකම මොහොතකදී, අතිශය ගෞරවයකින් සහ දැඩි විනයකින් යුතුව තම ප්‍රධානියා වෙත ගෞරව පූර්වකව ආචාරය පුද කළහ. ඔවුන් පෙර සිටම මේඝගේ යටත් නිලධාරීන් පමණක් නොව, ඔහුගේ අණට ඕනෑම මොහොතක ජීවිතය පූජා කිරීමට සූදානම් වූ විශ්වාසවන්තම පිරිස විය. නැවතත් තම ප්‍රධානියා යටතේ සේවය කිරීමට ලැබීමේ සතුට ඔවුන්ගේ මුහුණේ ලියැවී තිබුණි.
මේඝ මන්දිරයේ ප්‍රධාන දොර අසලට පැමිණ නතර විය. ඔහුගේ පෙනුමෙන් විදහා දැක්වුණේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළම තනතුරක් දරන බලවත් නායකයෙකුගේ අභිමානයයි. ඔහු තරමක් ඉදිරියට ඇවිද ගොස්, තෙත බරිත වූ මිදුලේ මධ්‍යයේ නැවතුණේය. ආපසු හැරී මාධව දෙස බැලූ ඔහු, තමන්ගේ උසස් නිලධාරී අණෙහි ස්ථාවරත්වය පෙන්වීය.
"මාධව, මම මේ සටන කරන්නේ තනියම. කිසිම විදියකින්, කිසිම කෙනෙකුට තවදුරටත් මේකට සම්බන්ධ වෙන්න බැහැ. අපි මේ පරීක්ෂණය කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා මේ වෙනකන් සිදුවුණ දේවල් එක්ක, මාධව දන්නවා මේකේ බරපතලකම. දැන් ඇති මේ ලේ හෙළුවා."
"ඒත් සර්..." මාධව අවිනිශ්චිතව පැවසීය.
"මාධව, මම කියන දේට උඩින් යන්න හදන්න එපා." මේඝ ප්‍රථම වරට තම නිල බලය එළියට ගත්තේය. ඒ, එතැන සිටි අනෙක් නිලධාරීන්ගේ හා මාධවගේ ආරක්ෂාව පිණිසම පමණක් විය. "මාධව, කෝ රිපෝට් ටික? ආවද?"
"රිපෝට් ටික අරගෙන කසුන් එන ගමන් කිව්වා සර්."
මිදුලේ මැද රඳවා තිබූ නිශ්චලතාව බිඳ දමමින්, මන්දිරයේ ගේට්ටුව දෙසින් එන්ජිමක ගොරහැඬුම ඇසිණි. වේගයෙන් ඇතුළු වූ පොලිස් ජීප් රථය මඩ වගුරක් වන් මිදුලේ තිරිංග තද කර නතර විය. රථයේ දොර විවර කරමින් මඩ තැවරුණු බූට් සපත්තු යුගලක් පොළොවට ගැටුණි. ඒ කසුන්ය.
ඔහු වහාම මේඝ දෙසට ගමන් කර, දැඩි විනයකින් යුතුව ගෞරව පූර්වකව ආචාරය පුද කළේය. මේඝගේ මුහුණේ වූ අඳුරු අභිමානයත්, වටපිටාවේ වූ ආතතියත් කසුන් හොඳින්ම තේරුම් ගත්තේය. ඔහු තම අතේ තිබූ රහස්‍ය ලියකියවිලි සහිත ෆයිල් කවරය දෙඅතින්ම ගෙන මේඝ වෙත දිගු කළේය.
"සර්, බලාපොරොත්තු වුණාටත් වඩා සංකීර්ණයි. සියලුම වාර්තා සහ පරීක්ෂණ නිගමන මෙහි තියෙනවා," කසුන්ගේ හඬ මන්දිරයේ නිහඬතාව මැද පැහැදිලිව ඇසුණි.
මේඝ ෆයිල් එක තම අතට ගත්තේය. ෆයිල් එකේ තිබූ තොරතුරු යනු තවත් කඩදාසි ගොඩක් නොව, පරම්පරා ගණනාවක් තිස්සේ සැඟවී තිබූ මහා රහසක අවසන් කැබැල්ලයි. ඒ දෙස බලන විට, ඔහුගේ මුහුණේ වූ දැඩි බව තවත් තීව්ර විය. පොලිස් නිලධාරීන් සියල්ලන්ම මේඝගේ මුවින් පිටවන වචනයක් බලාපොරොත්තුවෙන් නිහඬව බලා සිටියහ.
මේඝ ෆයිල් එක විවෘත කළේය. පොලිස් මූලස්ථානයේ අධිකරණ වෛද්‍ය විශේෂඥයින් විසින් සකස් කරන ලද අතිශය රහස්‍ය වාර්තාව එහි විය. ඔහුගේ දෑස් ඒ ලියකියවිලි මත දිව යද්දී, ඔහු කියවූ කරුණු මීට දශක ගණනාවකට පෙර පියදාසට අත් වූ අමානුෂික ඉරණම පිළිබඳ බිහිසුණු සත්‍යය එළි දැක්වීය.
එම වාර්තාවේ ඇතුළත් වූ ප්‍රධාන කරුණු මෙසේ විය:
අධිකරණ වෛද්‍ය පරීක්ෂණ වාර්තාව: අංක - 402/2026 විෂය: මානව අස්ථි කොටස් සම්බන්ධ විශ්ලේෂණ
ජානමය අනන්‍යතාවය: ගොඩගත් අස්ථි කොටස්වලින් ලබාගත් සාම්පල, මන්දිරයේ පැරණි වාර්තා සහ සුලෝචනාගේ පවුලේ ජාන සටහන් සමඟ සැසඳීමේදී 99.9% ක නිවැරදිභාවයකින් යුතුව තහවුරු වී ඇත. මෙම අස්ථි කොටස් සුලෝචනාගේ රුධිර උරුමය සමඟ සෘජුවම සම්බන්ධ පවුලේ සාමාජිකයෙකුට අයත් වේ.
මරණයට හේතු වූ තුවාල: මරණකරුගේ අස්ථි කොටස් පරීක්ෂා කිරීමේදී, ජීවිතයේ අවසන් මොහොතේ ඔහු ඉතා දරුණු වධහිංසාවලට ලක්ව ඇති බව තහවුරු වේ.
හිස්කබලේ තුවාල: හිස්කබලේ ඉදිරිපස සහ පාර්ශ්වීය කොටස්වල අතිශය බලවත් තද වස්තුවකින් පහර දීම නිසා සිදු වූ බහුවිධ අස්ථි බිඳීම් නිරීක්ෂණය වේ. මෙය සෘජුවම මරණයට හේතු වූ මාරාන්තික පහර දීමකි.
පාදවල අස්ථි බිඳීම්: දණහිසට පහළින් පවතින පාදවල අස්ථි සම්පූර්ණයෙන්ම කුඩු වී යන පරිදි කිහිප වතාවක් බිඳ දමා ඇත. මරණකරුට ගමන් කිරීමේ හැකියාව සම්පූර්ණයෙන්ම අහිමි වන පරිදි, ඉතා ක්‍රමානුකූලව මෙම පාද ද්විත්වයම බිඳ දමා ඇති බව වෛද්‍ය වාර්තාව මගින් තහවුරු වේ.
නිගමනය: මෙය ස්වභාවික මරණයක් හෝ හදිසි අනතුරක් නොව, ඉතා අමානුෂික ලෙස වධ දී සිදු කරන ලද 'ඝාතනයක්' බව ඉතා පැහැදිලිය.
මේඝ වාර්තාවේ තිබූ ඒ බිහිසුණු තොරතුරු කියවා අවසන් කරද්දී, ඔහුගේ දෑත් වෙව්ලන්නට විය. පියදාසගේ ඒ වේදනාව, ඔහුගේ ඒ අසරණකම දැන් මේඝට දැනෙන්නේ තමන්ගේම සිරුරට ලැබුණු පහරක් මෙනි. "පියදාස..." මේඝ මුමුණා ගත්තේය. "ඔබ මේ තරම් වධ විඳලත්, ඔබේ පණ යන මොහොතෙත් මාව රැක්කේ... ඒ සෙනෙහසට මම කොහොමද මිල කරන්නේ?"
වාර්තාවේ සඳහන් වූ ඒ පාද බිඳ දැමීමේ සහ හිස්කබල කුඩු කිරීමේ දර්ශනය මේඝගේ මනස තුළ චිත්‍රපටයක් මෙන් මැවී පෙනුණි. ඔහුගේ දෑස්වල තිබූ ශෝකය දැන් සම්පූර්ණයෙන්ම දැවෙනසුළු වෛරයකින් සහ පළිගැනීමේ දැඩි අදිටනකින් ප්‍රතිස්ථාපනය වී තිබුණි. කළු ලෝගුකාරයාට මින් පසු මරණය හැර වෙනත් ගැලවීමක් නැති බව මේඝගේ දෑස් කියාපෑවේය.
ඒ සමඟම ඔහුගේ ඇස ගැටුණේ එම ලියකියවිලි අතර ඉතා සුරක්ෂිතව, ලේඛන මුද්‍රා තබා අලවා තිබූ රහස්‍ය ලිපිකවරයකි. එය කොතරම් තදින් අලවා තිබුණේද යත්, මේඝට එය විවෘත කිරීමට විශේෂ උත්සාහයක් දැරීමට සිදුවිය. එම කවරය මත තිබූ සලකුණෙන් ඔහුට වැටහුණේ, එය විශේෂයෙන්ම 'මේඝ' හට පමණක් විවෘත කිරීමට අදහස් කළ රහස්‍ය ලියවිල්ලක් බවයි. ඔහු පරිස්සමෙන් කවරය ඉරා එය දිග හැරියේය. ඇතුළත වූයේ තවත් DNA වාර්තාවකි. එය පරීක්ෂා කර බැලූ මේඝගේ හුස්ම ක්ෂණයකින් නතර විය. ලෝකයේ සියලුම දේ ඔහු වටා කරකැවෙමින් පවතින බව ඔහුට හැගිණි.
මේඝගේ ඇස් තුළ තිබූ තියුණු බැල්ම එම වාර්තාවේ තිබූ අකුරු මත තවත් තත්පර කිහිපයක් රැඳී තිබුණි. ඒ DNA වාර්තාවේ සඳහන් වූයේ මීට වසර තිහකට පෙර අතුරුදන් වූ සුජීවගේ අනන්‍යතාවයත්, සුලෝචනාගේ හා පියදාසගේ අනන්‍යතාවයත්, වික්‍රමසිංහ මුදලිගේ සහ කුමාර වීරසිංහගේත්, කළු ලෝගුකාරයාගේ සැබෑ ස්වරූපයත් අතර තිබූ බිහිසුණු සම්බන්ධතාවයක සුලමුල හෙලිකර ගත හැකි සාක්ෂියකි. මෙය හුදෙක් පොලිස් පරීක්ෂණ වාර්තාවක් නොව, මුළු මන්දිරයේම ඉරණම වෙනස් කළ හැකි රහසක් විය.
"මාධව..." මේඝ ස්ථිර හඬින් ඇමතුවේය.
මාධව වහාම ඔහු අසලට පැමිණියේය. "සර්?"
"මම මන්දිරය ඇතුළට යනවා. පරීක්ෂණ වාර්තා ඔක්කොම මගේ ගාව. ඔයාලා මන්දිරයෙන් එලියෙ රැඳී ඉන්න. කාටවත්, මගේ අවසරයකින් තොරව ඇතුළට එන්න දෙන්න එපා. විශේෂයෙන්ම... මම දෙන සංඥාව එනකම් කිසිවෙක් මගේ පසුපස එන්න එපා."
මේඝගේ හඬෙහි තිබූ දැඩි බව නිසා මාධව කිසිදු ප්‍රශ්නයක් නොකර "එසේමයි සර්" යැයි පවසා පියවරක් පසුපසට ගත්තේය. තම හොදම මිතුරා පිලිබද මහත් බියක් ඇති වුවත් අනෙක් නිලධාරීන් ඉදිරියේ ඔහුව මිතුරෙකු සේ වැලැක්වීම මාධවට කල නොහැකි විය.
මේඝ මන්දිරයේ විශාල දැවමය දොරටුව දෙසට පියවර තැබීමට පෙර, තම ඉනේ තිබූ පිස්තෝලය පිටතට ගත්තේය. එහි පතුරම් ගබඩාව තත්පරයකින් පරීක්ෂා කළ ඔහු, එය යළිත් නිවැරදිව රඳවා සූදානම් කරගත්තේය. අවසානයේ එම ගිනි අවිය තමාගේ ඉනේ ඉතා විශ්වාසවන්ත ලෙස රඳවා ගත්තේ, ඉදිරියේ සිදුවන ඕනෑම සටනකට මුහුණ දීමේ පූර්ණ සූදානමකිනි.
එක් එක් පියවර තබන විට ඔහුට දැනුණේ තමන් තනිවම නොවන බවය. පියදාසගේ ආත්මයත්, සුලෝචනාගේ රුධිර උරුමයත්, දැන් ඔහුගේ කබා සාක්කුවේ සැඟවුණු ඒ රහසත් ඔහුත් සමඟම මන්දිරයේ අඳුරට පිවිසෙමින් සිටින බව ඔහුට වැටහුණි.
ඔහු දොර අසල නතර වී, තම සාක්කුවේ තිබූ ලියුම් කවරය මතින් අත තබා ගත්තේය. "කලු ලෝගුකාරයෝ... ඔයා කොහේ හිටියත්, මම අද ඔයාව සොයා ගන්නවා."
ඔහු මන්දිරයේ දොර විවෘත කළේය. මන්දිරයේ අභ්‍යන්තරයේ වූ මහා අන්ධකාරය ඔහුව පිළිගත්තේ ගිලගන්නා සේය. ඔහු ඇතුළට පා තැබූ පසු, මහා දැවමය දොරවල් තමාම වැසී ගියේ, සටනේ අවසන් පරිච්ඡේදය ආරම්භ කරමිනි.
*******
"මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."


Megage thaththa sujiwa wennath puluwan neda. Kathawa godariyak lassanayi. ❤️❤️❤️❤️
ReplyDeleteLassanai hugak.♥️♥️♥️👍
ReplyDelete