9 වන දිගහැරුම 

පසුදා උදෑසන මීදුම අතරින් හිරු එළිය පෙරී එද්දී මේඝ අවදි වූයේ දරාගත නොහැකි හිසේ කැක්කුමකිනි. ඔහුගේ නළල දෙපස නහර ගැහෙනවාක් මෙන් දැනුණු අතර, පෙරදින රාත්‍රියේ බී පටලැවුණු මත්පැන්වල තිත්ත රස තවමත් දිව අග රැඳී තිබුණි. ඔහු දෑස් අඩවන් කර අවට බලද්දී, කාමරය පුරා විසිරී ඇති ලේඛන සහ වීදුරු කැබලි ඔහුගේ පරාජය සිහිපත් කළේය.

ඇඳ අසල පුටුවේ මාධව නිදි වර්ජිතව සිටියේය. ඔහුගේ දෑස් රතු වී, තෙහෙට්ටුවෙන් වැසී තිබුණි. පසෙක තිබූ පිස්තෝලය දෙස බලද්දී මාධව මුළු රාත්‍රියම ඔහුව ආරක්ෂා කිරීමට කැප කළ බව මේඝට වැටහුණි.

නමුත් මේඝගේ සිරුර මොහොතකට ගැස්සී ගියේ ඇඳේ අනෙක් පස බැලූ සැණිනි. පියදාස තවමත් එහි සිටියේය; ඔහු සන්සුන්ව, කිසිදු හැඟීමක් නැතිව මේඝ දෙස බලා සිටියි. මේඝ තම බිය පාලනය කර ගත්තේය. ඔහු තමා ගැස්සුණු බව මාධවට පෙන්වන්නට ඉඩ දුන්නේ නැත. ඔහු සෙමින් ඇඳෙන් නැගී සිටිද්දී, පෙර රාත්‍රියේ වූ බිහිසුණු දර්ශන එකින් එක මනසට ගලා එන්නට විය.

"මේඝ... උඹ අවදි වුණාද? දැන් කොහොමද?" මාධව වෙහෙසකර හඬින් ඇසුවේය.

"මට... මට දැන් හොඳයි මාධව," මේඝ අපහසුවෙන් වචන ගැලපුවේය. ඔහු මාධව දෙස බලන අතරතුරම, තම අසලම සිටින පියදාස දෙසත් හොරැහින් බැලුවේය. පියදාස තවමත් නිහඬය. තමා දැන් සිටින්නේ ලෝක දෙකක් අතර බව මේඝට වැටහී තිබුණි. එක් පසෙකින් තමාගේ සැබෑ මිතුරා වන මාධවය; අනෙක් පසින් තමාට පමණක් පෙනෙන, මළගියවුන්ගේ ලෝකයෙන් පැමිණි රැකවලා වන පියදාසය. මේඝ සෙමින් නළල පිරිමදිමින්, තමා පෙරදා රාත්‍රියේ විසිකර තිබූ සටහන් දෙස බැලුවේය.

මාධව පිස්තෝලය මේසය මත තබමින් මේඝගේ ඇස් දෙස කෙලින් බලා ප්‍රශ්න කළේය. "මේඝ, ඇත්තටම ඊයේ රෑ මොකද වුණේ? උඹ ගබඩාව පැත්තෙන් කෑ ගහනවා ඇහිලා මම දුවගෙන එනකොට, උඹ සිහිය නැති වෙන්න ඔන්න මෙන්න බිම වැටිලා හිටියා. කවුද එතන හිටියේ?"

මේඝ මොහොතක් නිහඬ විය. ඔහුට පසෙකින් සිටින පියදාසගේ දෑස් තවමත් තමා දෙසට යොමුවී ඇති බව ඔහුට දැනුණි. පියදාසගේ නිහඬ අනතුරු ඇඟවීම මතක් වූ මේඝ, සත්‍යය වසන් කිරීමට තීරණය කළේය.

"මට මතක නෑ මාධව..." මේඝ පවසද්දී ඔහුගේ හඬ වෙව්ලන්නට විය. "මම ගබඩාව පරීක්ෂා කරලා එනකොට... එකපාරටම අමුතුම විදිහක ශබ්දයක් ඇහෙන්න ගත්තා. ඒක සාමාන්‍ය ශබ්දයක් නෙවෙයි, මගේ ඔළුව ඇතුළෙන් එනවා වගේ දැනුණ ප්‍රබල කම්පනයක්. ඒක දරාගන්න බැරි තරම් වේදනාකාරී වුණා." මේඝ නළල අතගාමින් දිගු හුස්මක් ගත්තේය. "එතනින් එහාට වුණ කිසිම දෙයක් මට මතක නැහැ. මට සිහිය එනකොට උඹ මාව ඇහැරවනවා. මට දැනුණේ මගේ පෙනහළු හිරවෙලා, මුළු ඇඟම ගිනියම් වෙලා වගේ."

මාධව සැක සහිත බැල්මක් හෙළුවේය. "ඒත් උඹ අර අත දික් කරලා කාවද පෙන්නන්න හැදුවේ?"

"මම දන්නේ නෑ බං. මම හිතන්නේ ඒ වෙලාවේ ඇතිවුණ මනෝවිද්‍යාත්මක කම්පනය නිසා මට මොනවා හරි පේන්න ඇති. දැන් ඒ කිසිම දෙයක් මගේ මතකයේ නැහැ," මේඝ බොරු කීවේ ඉතා අමාරුවෙනි.

මේඝ දෙස බලා සිටි පියදාසගේ මුහුණේ මඳ සිනහවක් ඇඳුණේ, මේඝ සත්‍යය වසන් කිරීම පිළිබඳව පියදාස සෑහීමකට පත් වූවාක් මෙනි. මාධවට පියදාසව නොපෙනෙන නිසා, ඔහු මේඝගේ වචන විශ්වාස කරමින් සුසුමක් හෙළීය.

"ඒ ශබ්දය... ඒක තමයි උඹ කියපු 'අතිධ්වනි කම්පනය' වෙන්න ඕනේ," මාධව මුමුණන්නට විය. "උඹ ඊයේ රෑ ඒ මරණයෙන් බේරුණේ අනූ නවයෙන්, මේඝ."

තමා බේරුණේ පියදාස නිසා බව මේඝ දැන සිටියත්, ඔහු නිහඬවම ඒ බිහිසුණු රහස තම සිත තුළ තද කර ගත්තේය.

මාධව තම ජැකට්ටුව දමාගෙන යාමට සූදානම් විය. නුවරඑළියේ අළුයම මීදුම තවමත් මන්දිරය වටා රජ කරන බැවින්, නගරයේ මිනිසුන් ගැවසීමට පෙර කෑම රැගෙන ඒම ආරක්ෂිත බව ඔහු දැන සිටියේය.

"දැන් මම මෙහෙ ඉන්න නිසා පියදාස උඹටත් කෑම ගේන්නෙ නෑ නේද? මම ගිහින් මොනවා හරි අරන් එන්නම්," මාධව පැවසුවේ යතුරුපැදියේ යතුර අතට ගනිමිනි.

මාධව කියූ කතාවට කුමක් කියන්නදැයි මේඝට සිතා ගත නොහැකි විය. මේඝ ඔහු දෙස බැලුවේ මඳ අනුකම්පාවකිනි. මාධවගේ දෑස් නිදිමතෙන් බර වී තිබුණි. "ඔය නිදිමතේම යන්න පුළුවන්ද මාධව?"

මාධව මඳ සිනහවක් පෑවේය. "පිස්සුද බං... මතක නැද්ද ඉස්සර අපි පරීක්ෂණ කරනකොට කාපු කටු? රෑ දවල් නැතුව කැලෑවල රිංගපු හැටි? මේවා මොනවද බං ඒවත් එක්ක බලද්දී," මාධව සැහැල්ලුවෙන් පැවසීය.

නමුත් මේඝට දැනුණේ වෙනස්ම දෙයකි. මාධව තවමත් සිතා සිටින්නේ මෙය තවත් එක් සාමාන්‍ය අපරාධ පරීක්ෂණයක් කියාය. මෙය මිනිස් බලවේගයන්ට එහා ගිය, තර්කයට හසු නොවන, මාරාන්තික අද්භූත ක්‍රීඩාවක් බව මාධව තවමත් දැන සිටියේ නැත.

"උඹ පරෙස්සමෙන් ගිහින් ඉක්මනට වරෙන්," මේඝ එපමණක් පැවසීය.

මාධව පියගැටපෙළ බැස යන හඬ ඇසුණි. මාධව පිටව ගිය සැණින් කාමරය තුළ අමුතුම නිහඬතාවයක් රජ වන්නට විය. මේඝ පියදාස දෙස බලා සිටියේ වචනයක්වත් කියාගත නොහැකි හිස් හැඟීමකිනි. තර්කයත්, අද්භූත බලවේගයත් අතර සිදුවන මේ ගැටුම හමුවේ ඔහුගේ මනස අකර්මන්‍ය වී තිබුණි. තමා ඉදිරියේ සිටින්නේ මනුෂ්‍යයෙක්ද, නැතිනම් මළගිය ප්‍රාණියෙක්ද යන්න තවමත් ඔහුට ගැටලුවකි.

අවසානයේ නිහඬතාවය බිඳිමින් පියදාසම කතාව ආරම්භ කළේය.

"බය වෙන්න එපා මහත්තයා..." පියදාසගේ හඬ ඉතා මෘදුය; නමුත් එහි ගැඹුරු ගම්භීර බවක් තිබුණි. "මාධව මහත්තයා දැන් එළියට ගියාට ඔහුට අනතුරක් වෙන්නේ නැහැ."

මේඝ පුදුමයෙන් පියදාස දෙස බැලුවේය. "ඔබ කොහොමද එහෙම කියන්නෙ?"

"මාධව මහත්තයව ආරක්ෂා කරන එක මට අදාල කාරණාවක් නෙමේ. ඒත් මාධව මහත්තයගෙ එකම අරමුණ මහත්තයව ආරක්ෂා කරන එක. ඒකයි මම මේ මන්දිරේට මාධව මහත්තයා ආපු ගමන් ඔහුගෙ ආරක්ෂාවට නූලක් බැන්දෙ."

මේඝගේ මතකය පෙර දිනයන්ට ඇදී ගියේය. තමා සිතනවාට වඩා පියදාස අනාගතය දැක ඇතැයි ඔහුට සිතුණි.

"මාව පේන්නේ මහත්තයාට විතරයි," පියදාස මඳ සිනහවක් පෑවේය. "මම එදා කිව්වා නේද මහත්තයා මේ අභිරහසෙ එක කොනකින් අල්ල ගත්ත දවසට මම මාධව මහත්තයා ඉස්සරහට එන්නෙ නැති හේතුව වැටහෙයි කියලා. මම එහෙම ආවනම්, මම කවුද කියලා මහත්තයා කලින්ම දැනගන්නවා."

මේඝ මඳක් සන්සුන් විය. නමුත් ඔහුගේ සිත තුළ තිබූ කුතුහලය තවමත් නිවී ගොස් නැත. ඔහු තවමත් සිටින්නේ මේ කිසිවක් විශ්වාස කළ නොහැකි මානසිකත්වයකිනි. ඔහුට තවමත් හැඟුණේ පියදාස යනු මනුෂ්‍යයෙක් බවය.

"ඒ කියන්නෙ මම දැන් අභිරහසෙ එක කොනකින් අල්ල ගත්තා කියන එකද?"

"හූම්…. හැබැයි මේ පුංචිම තැනක් විතරයි. මේක ඉස්සරහට හුඟක් ගැඹුරු වෙයි. මහත්තයා නිකන් අභිරහසට යන මාර්ගයේ දොර අමාරුවෙන් ඇර ගත්තා වගේ."

"මට තාම මේ මුකුත් හිතා ගන්න බෑ, පියදාස."

"ඉස්සරහට හිතා ගන්න බැරි හුඟක් දේවල් වෙයි, මහත්තයා. මහත්තයට ඒ හැමදේටම මූණ දෙන්න ශක්තිය හදා ගන්න වෙයි. මෙතනට ආපු කිසි කෙනෙකුට මෙච්චර දුරක් එන්න පුළුවන් වුණේ නෑ. ඒකයි මේ අභිරහස තාමත් අභිරහසක් විදියට තියෙන්නෙ."

"හරි, මට කියන්න. කවුද ඒ ඊයේ ආපු මිනිහා? මොකක්ද ඒ කියෝගෙන ගියෙ? මන්ත්‍රයක්ද?"

පියදාස ජනේලය දෙසට හැරී ඈත මීදුම දෙස බැලුවේය. "ඒක මන්තරයක් විතරක් නෙවෙයි, මහත්තයා. ඒක මේ මන්දිරයේ බිත්ති ඇතුළේ අවුරුදු ගණනාවක් තිස්සේ හිරවෙලා තියෙන වෛරයක්. මම කළේ ඒ මරණීය ශබ්ද තරංගවලින් මහත්තයාව ආරක්ෂා කරපු එක විතරයි. හැබැයි මහත්තයා, මට හැමදාම මේ විදියට පෙනී ඉන්න බැහැ."

"ඒ කියන්නෙ මම මේක විසඳන්න හදන විදිය හරි යන්නෙ නෑ කියන එකද? මේකෙදි මගෙ තර්කය බොරු කියන එකද?" මේඝගේ හඬෙහි තිබුණේ දැඩි වෙහෙසක් සහ තමා මෙතෙක් විශ්වාස කළ විද්‍යාව බිඳ වැටීම පිළිබඳ ඇති වූ කම්පනයයි. ඔහු පියදාස දෙස බැලුවේ පිළිතුරක් අපේක්ෂාවෙන් පමණක් නොව, තම බුද්ධිය බේරාගැනීමේ අන්තිම උත්සාහය ලෙසිනි.

පියදාස මඳක් මේඝ වෙත ළං විය. ඔහුගෙන් පිටවන ශීතල වාතය මේඝට පැහැදිලිව දැනෙන්නට විය. පියදාස මොහොතක් නිහඬව සිට මේඝගේ දෑස් දෙස කෙලින්ම බැලීය.

"මහත්තයා මේ දකින්නේ ඇත්තක්. හැබැයි ඒක මහත්තයාගේ ලෝකයේ තර්කයෙන් විතරක් මනින්න පුළුවන් ඇත්තක් නෙවෙයි. මහත්තයා හිතන්නේ හැමදේම විසඳන්න පුළුවන් ඇස්වලට පේන සාක්ෂිවලින් විතරයි කියලා. ඒත් මහත්තයා... විද්‍යාව කියන්නේ මේ මහා විශ්වයෙන් ඉතාම පොඩි කොටසක් විතරයි. මේ මන්දිරයේ තියෙන්නේ විද්‍යාවත්, මිනිස් මනසත් දෙකම පරාජය කරපු බිහිසුණු රහසක්. ඇත්තටම මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද කියලා මහත්තයා අහනවා. ඊයේ රෑ මහත්තයාගේ හුස්ම හිරවුණේ, ඇඟ ගිනියම් වුණේ ඇත්තටම නේද? ඒක මහත්තයාගේ හිතේ මවාගත්ත දෙයක් නෙවෙයි. මේ ලෝකයේ ශබ්ද තියෙනවා කනට ඇහෙන්නේ නැති, බලවේග තියෙනවා ඇසට පේන්නේ නැති. මේ මම වගේ. ඒත් ඒවයේ බලපෑම මරණය තරම්ම දරුණු වෙන්නත් පුළුවන්."

"මහත්තයාගේ ලෝකයේ සාක්ෂිවලින් මේක විසඳන්න පුළුවන් එකම ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මේ 'අස්වාභාවික' දේවලට පිටුපසින් ඉන්න 'ස්වාභාවික' මිනිහාව හොයාගන්න එක. ඊයේ රෑ මහත්තයා දැක්ක කළු ලෝගුකාරයා තවමත් හුස්ම ගන්න මිනිහෙක්. මහත්තයා තර්කය අත්හරින්න එපා. හැබැයි තර්කයට අහු නොවෙන දේවලුත් මේ ලෝකයේ තියෙනවා කියලා පිළිගන්න. එතකොට විතරයි මහත්තයාට මේ පරීක්ෂණය ඉවර කරන්න පුළුවන් වෙන්නේ."

"හරි, මට කියන්න. ඔයා මෙතන ඉන්නෙ ඇයි? ලේ උරුමය නිසාද?"

පියදාසගේ හඬේ තිබුණේ සියවස් ගණනාවක විඩාව සහ දරාගත නොහැකි බරක් උසුලාගෙන සිටින මිනිසෙකුගේ වේදනාවයි. ඔහු මේඝ දෙස බැලුවේ ඉතා බැරෑරුම් බැල්මකිනි.

"මහත්තයා... මම හරියට නිධානයක් රකින බහිරවයෙක් වගේ," පියදාස ඉතා කෙඳිරිලි හඬින් පැවසීය. "බහිරවයෙකුට අවසර තියෙන්නේ ඌට අයිති රාජකාරිය කරන්න විතරයි. ඌට ඒකෙන් පිට පනින්න බැහැ. ඌට ඒ නිධානය අයිති කරගන්නත් බැහැ, ඒකෙන් පලක් ගන්නත් බැහැ. කරන්න තියෙන්නේ ඒක ආරක්ෂා කරන එක විතරයි. මට අයිති රාජකාරියක් තියෙනවා. ඒක මට පවරපු නියෝගයක් වගේ දෙයක්. ඒ රාජකාරිය අවසන් වෙනකන් මට නිදහසක් නැහැ. මේ මන්දිරයෙන් පිටවෙලා යන්නවත්. මහත්තයා හිතන්නේ මම ඔබට පේන්නේ අහම්බෙන් කියලා නේද? නැහැ... මහත්තයාව මෙතනට ගෙන්න ගත්තෙත් ඒ රාජකාරියේම කොටසක් විදිහට තමයි. මොකද මේ පලිය අවසන් කරන්න නම් ලේ මස් තියෙන මනුෂ්‍යයෙකුගේ බුද්ධියක් අවශ්‍යයි. අනික…."

"මොකක්ද අනෙක, පියදාස?"

"මට මේ දේවල් වලදි වුණත් මහත්තයට උදව් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා, කියන්න පුළුවන් සීමාවක් තියෙනවා. අනෙක් හැමදේම බාර වෙන්නෙ ඔබට. ඔබ ඉන්න ලෝකය තුළ මේක විසඳන්න ඕන ඔබේ තර්කය හා සාක්ෂි විතරයි. ඒක හොයා ගන්න පුළුවන් ඔබටම තමයි."

තමා මේ පැමිණ සිටින්නේ හුදු අපරාධයක් සෙවීමට පමණක් නොව, ආත්මයක් නිදහස් කිරීමේ භාරදූර මෙහෙයුමකට බව මේඝට වැටහිණි. මෙතරම් දෙයක් දැනගත් පසුව මින් පලා යාමට කිසිසේත්ම මේඝට අවශ්‍ය නොවීය. ඔහුට අවශ්‍ය වූයේ අවුරුදු ගානක් මේ තුළ සිරවී සිටින සැමට නිදහස ලබා දීමටය. විශේෂයෙන්ම ඔහුගේ ජීවිතය බේරා ගත්තාට ඔහු පියදාසට ණයගැති බවක් ඔහුට දැනුණි. අභිරහස විසඳාගත නොහැකි වුවත්, මේ අහිංසක ආත්මයට නිදහස ලබා දීම ඔහුගේ වගකීමක් ලෙස මේඝට සිතුණි.

මාධව පඩිපෙළ නැග එන හඬ පැහැදිලිව ඇසුණි. පියදාස සම්පූර්ණයෙන්ම නොපෙනී ගියද, ඔහු ඉතිරි කර ගිය ඒ විශ්වාසය මේඝගේ බිඳී තිබූ ආත්ම විශ්වාසය නැවත අවදි කළේය. මේඝ ගැඹුරු හුස්මක් ගත්තේය. ඔහු වටා ඇති සියලු අද්භූත සිදුවීම් පිටුපස "තර්කානුකූල" පදනමක් ඇති බව දැන් ඔහුට සහතිකය. පියදාස පවා පෙනී සිටින්නේ යම්කිසි අරමුණක් ඉටු කර ගැනීමට නම්, ඒ අරමුණට යන මාවත වැටී ඇත්තේ සාක්ෂි සහ දත්ත විශ්ලේෂණය මතමය.

මේඝ සෙමින් බිම විසිරී තිබූ ලේඛන එකින් එක අහුලා ගැනීමට පටන් ගත්තේය. "අධික ශබ්දය... ඒක තාක්ෂණික උපකරණයක් විය හැකියි. කළු ලෝගුකාරයා... ඔහු තවමත් හුස්ම ගන්නා මිනිසෙක්ය. පියදාසගේ බහිරව රාජකාරිය... ඒක මේ මන්දිරයේ ඉතිහාසය සමඟ බැඳුණු රහසක්ය."

මේඝගේ දෑස්වල තිබූ වියරු බැල්ම වෙනුවට දැන් තැන්පත්, තියුණු බැල්මක් මතු වී ඇත. තමා ඉදිරියේ ඇති මේ ප්‍රහේලිකාව විසඳීමට නම්, තමා මෙතෙක් දැන සිටි විද්‍යාවට වඩා එහා ගිය "විශ්වීය තර්කයක්" භාවිතා කළ යුතු බව ඔහු වටහා ගත්තේය.

"මේඝ! මෙන්න කෑම..." මාධව දොර විවෘත කරගෙන ඇතුළු වූයේ උණුසුම් පාන් සහ පරිප්පු හොදි පාර්සලයක් අතැතිවය. මාධව දැක්කේ ඇඳ මත වාඩි වී ඉතා සන්සුන්ව විසිකර දැමූ කඩදාසි කැබලි එකතු කරන මේඝවය.

"උඹ දැන් හරිද බං?" මාධව පුදුමයෙන් ඇසුවේය.

"ඔව් මාධව... මම දැන් හරි." මේඝ මඳ සිනහවක් පෑවේය. "අපි මේක විසඳමු. හැබැයි මීට වඩා වෙනස් විදියකට." මේඝ දැන් සූදානම්ය. පියදාස පැවසූ පරිදි තර්කය අවියක් කරගෙන, මීදුම අතර සැඟවී සිටින සැබෑ මිනීමරුවා කොටු කර ගැනීමට ඔහු සැලසුම් සකස් කරන්නට විය.

*******

"මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."    

Next Episode    

Comments

  1. Kathawa godariyak lassanayi.. E kalu logu karaya sulochnage athurudahan wimata sambandada dan na

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සීතල මන්දිරය 1 කොටස [අභිරහස් කතා/නවකතා]

සීතල මන්දිරය 2 කොටස[අභිරහස් කතා/නවකතා]

දඟකාර ආඩම්බරී 1