10 වන දිගහැරුම

උදෑසන ආහාරයෙන් පසු මේඝගේ මුහුණේ තිබූ දැඩි අධිෂ්ඨානය දුටු මාධව, තම මිතුරාගේ ඉල්ලීමට ඉඩ දීමට තීරණය කළේය. මාධවට අවශ්‍ය වූයේ මේඝව සන්සුන් කිරීමට වුවත්, මේඝට අවශ්‍ය වූයේ ඊයේ රාත්‍රියේ තමා දුටු ඒ ආලෝකය පසුපස ගොස් සත්‍යය අනාවරණය කර ගැනීමටයි.

"හරි... අපි යමු," මාධව තම පිස්තෝලය පරීක්ෂා කරමින් පැවසීය.

මේඝ හිස වැනුවේය. ඔවුන් දෙදෙනා මන්දිරයේ පිටුපස දොරෙන් එළියට බැස, මීදුමෙන් වැසුණු පටු මාවත දිගේ ගබඩාව දෙසට ගමන් කළහ. මේඝට දැනුණේ තමාට පිටුපසින් තවත් පියවර හඬක් ඇසෙන බවයි. ඔහු හොරැහින් හැරී බැලුවේය. පියදාස මීටර් කිහිපයක් ඈතින් ඉතා සන්සුන්ව ඔවුන් පසුපස එමින් සිටියේය. පියදාසගේ දෑස් යොමුව තිබුණේ ගබඩාව දෙසට නොව, අවට ඇති රූස්ස ගස් දෙසටය. ඔහු යම්කිසි අනතුරක් ගැන සෝදිසියෙන් සිටින්නාක් මෙන් පෙනුණි.

මඳ වේලාවකින් ඔවුන් ගබඩාව අසලට ළඟා වූහ. දහවල් එළියේදී එහි තිබූ බිහිසුණු බව සහ අබලන් ස්වභාවය වඩාත් පැහැදිලිව පෙනෙන්නට විය. ගබඩාවේ එක් පැත්තක වහලය සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබූ අතර, බිත්තිවල ගඩොල් ගැලවී ගොස් තිබුණි.

"බලපන් මේකේ හැටි... මේක දැන් අවුරුදු ගාණකින් ඇරලවත් නැති පාටයි," මාධව ගබඩාවේ මලකඩ කෑ විශාල දොර අසල නතර වෙමින් පැවසීය.

එහි පෞරාණික වටිනාකම තවමත් ශේෂව තිබුණි. කැටයම් කළ දැවැන්ත ලී දොරවල් සහ ගල් පුවරු මන්දිරයේ අතීත ශ්‍රී විභූතිය කියා පෑවේය. නමුත් දැන් එහි රජ කරන්නේ සොබාදහමයි. වහලෙන් කාන්දු වන ජලය නිසා පරාල දිරාපත් වී තිබූ අතර, හැම තැනම මකුළු දැල් පිරී තිබුණි. වවුලන්ගේ සහ කුරුල්ලන්ගේ අපද්‍රව්‍යවලින් පොළොව වැසී තිබූ අතර, ඔවුන් ඇතුළු වනවාත් සමඟම බියට පත් මීයන් රංචුවක් දිරා ගිය ලී පෙට්ටි අතරින් දිව ගියහ.

"ඊයේ රෑ ඒ එළිය ආවේ මෙතැනට කියලා උඹට විශ්වාසයි නේද?" මාධව විදුලි පන්දම දල්වා ඇතුළත සෝදිසි කරමින් ඇසුවේය.

මේඝ ඇතුළට පියවර තැබුවේය. තෙතමනය සහ දූවිලි මිශ්‍ර වූ අමුතු ගන්ධයක් නාසයට දැනුණි. දහවල් එළියේ වුවද ගබඩාව තුළ තිබුණේ මළානික ආලෝකයකි. පියදාස දොරකඩ අසල නිසලව සිටගෙන සිටි අතර, මේඝ සහ මාධව ඉතා පරීක්ෂාකාරීව තම විමර්ශනය ආරම්භ කළහ. ඔවුන්ගේ සපත්තු අඩියට පොඩි වන වියළි කොළ සහ දිරාපත් වූ ලී කැබලිවල හඬ ගබඩාවේ නිහඬතාවය බිඳ දැමීය.

"බලපන් මේකේ තියෙන වටිනාකම. මේ හැම ලී කැටයමක්ම පිටරටින් ගෙනාපු ඒවා වෙන්න ඕනේ," මාධව දිරාපත් වූ බිත්ති පුවරු පිරික්සමින් පැවසීය.

ගබඩාව පුරා විවිධ සතුන් තම අණසක පතුරා තිබුණි. වහලයේ සිදුරු අතරින් කුරුල්ලන් තම කූඩු තනාගෙන සිටි අතර, ඔවුන්ගේ පියාපත් ගසන හඬ වරින් වර ඇසුණි. වහලයෙන් කාන්දු වූ වර්ෂා ජලය නිසා ඇතැම් තැන්වල ලී බිම දිරාපත් වී කළු පැහැ ගැන්වී තිබුණි.

මේඝ තම විදුලි පන්දම බිමට යොමු කරමින් ඉතා සෙමින් ඉදිරියට ගමන් කළේය. දූවිලි සහ වියළි මකුළු දැල් අතර දිලිසෙන කුඩා වස්තුවක් ඔහුගේ නෙත ගැටුණි. මේඝ වහාම තම සාක්කුවෙන් රබර් අත්වැසුම් යුවළක් ගෙන පැළඳගත්තේය. ඔහු ඉතා පරෙස්සමෙන් ඒ කුඩා වස්තුව අතට ගත්තේය. එය අඟලක පමණ විෂ්කම්භයක් ඇති, ලෝහමය කුඩා බොත්තමකි. එය සාමාන්‍ය එකක් නොව, ඉතා පැරණි විලාසිතාවකින් නිම කළ එකකි. එහි මතුපිට සීරීම් ලකුණු කිහිපයක් තිබූ අතර, එක් පසෙක අමුතුම ආකාරයේ ලාංඡනයක් කොටා තිබුණි.

"බලපන් මාධව... මේක සාමාන්‍ය කබායක බොත්තමක් නම් නෙවෙයි. මේක ගොඩක් පරණයි," මේඝ ඒ බොත්තම කුඩා ප්ලාස්ටික් බෑගයකට දමමින් පැවසීය.

මාධව ඒ දෙස විමතියෙන් බැලුවේය. "මේ වගේ පරණ බොත්තමක් මේ ගබඩාවේ තිබුණ එක පුදුමයක් නෙවෙයි මේඝ. මේක හැරිසන්ගේ කාලේ එකක් වෙන්නත් පුළුවන්."

"වෙන්න පුළුවන්, නොවෙන්නත් පුළුවන්." ඔවුන් තවදුරටත් සෝදිසි කරද්දී, තවත් කුඩා සාධක කිහිපයක් හමු විය. එක් ලී කුළුණක සවි කර තිබූ පරණ යකඩ ඇණයක රැඳී තිබූ කළු පැහැති සිහින් රෙදි පටියක් මේඝ සොයාගත්තේය. එය ඊයේ රාත්‍රියේ තමා දුටු කළු ලෝගුකාරයාගේ ඇඳුමෙන් ඉරී ගිය කොටසක් විය හැකි යැයි ඔහුට සිතුණි. මේ සියල්ල දෙස පියදාස දොරකඩ සිට බලා සිටියේය. පියදාසගේ දෑස්වල තිබුණේ මේඝගේ තීක්ෂණ බුද්ධිය පිළිබඳව ඇති වූ ගෞරවයකි. පියදාස සෙමින් මීදුම අතරට පියවර තබමින් නොපෙනී ගියේ, මේඝට තම පරීක්ෂණ නිදහසේ කරගෙන යාමට ඉඩ සලසමිනි.

"අපි හිතුවට වඩා ලොකු දෙයක් මෙතන සිද්ධ වෙනවා මාධව," මේඝ නැගී සිටිමින් පැවසීය.

මාධව වටපිට බැලුවේය. "ඔව්, හැබැයි මේඝ... උඹට දැනෙන්නේ නැද්ද කවුරු හරි අපේ දිහා බලාගෙන ඉන්නවා වගේ?"

මේඝට මඳ සිනහවක් නැගුණි. "හුම්ම්... සමහරවිට අපි මේක ගැන හොයනවා වගේ අපි ගැන හොයන කෙනෙකුත් ඉන්න පුළුවන්. කොහොමත් දැන් කළු ලෝගුකාරයා මාව දැක්කනේ." මේඝ, පියදාස පිළිබඳව කිසිවක් හෙළි නොකරන්නට පරිස්සම් වූවාය.

මේඝ යළිත් වරක් ඒ කුඩා බොත්තම තම දෑසට කිට්ටු කර ඉතා ඕනෑකමින් පරීක්ෂා කළේය. එය ඊයේ රාත්‍රියේ දුටු කළු ලෝගුකාරයාගේ ඇඳුමෙන් වැටුණු එකක් නොවන බව ඔහුට සහතිකය. මාධව තවදුරටත් අවට පරීක්ෂා කරද්දී මේඝ ඒ බොත්තම ඉතා සමීපව පරීක්ෂා කළේය. එහි ඇති නිමාව සහ ලෝහයේ ගනකම දෙස බලද්දී ඔහුට යමක් සිහිපත් විය. ඔහු තම විදුලි පන්දමේ ආලෝකය ඒ මතට තදින් යොමු කළේය.

"මාධව... මේක සාමාන්‍ය කෝට් එකක බොත්තමක් නෙවෙයි. බලපන් මේකේ තියෙන ලාංඡනය. මේක මීට දශක කිහිපයකට කලින් අපේ රටේ තිබුණ විශේෂ ආරක්ෂක අංශයක නිල ඇඳුමක බොත්තමක් වගේ," මේඝ උද්යෝගයෙන් පැවසීය.

මාධව වහාම මේඝ අසලට පැමිණ බොත්තම දෙස බැලුවේය. "උඹ කියන්නේ... ලංකාවේ එකක් කියලද?"

"ඔව් බං!" මේඝ ස්ථිර හඬින් පැවසීය. "ඒ කියන්නේ මේ මන්දිරයට එදා ආරක්ෂාව සැපයූ නිලධාරියෙක් හෝ ඒ අංශයට සම්බන්ධ කෙනෙක් මෙතන මොනවා හරි රහසක පැටලිලා තියෙනවා. එහෙම නැත්නම් මේ ගැන හොයන්න ආපු නිලධාරියෙක්ගේ වෙන්නත් පුළුවන්."

මාධවගේ මුහුණේ තිබුණේ අවිශ්වාසයකි. "මේඝ, ඒ කියන්නේ උඹ හිතන්නේ මේ අතීතයේ වුණ අපරාධයේ සාක්ෂියක් කියලද? ඊයේ රෑ උඹට ඇහුණ අතිධ්වනි කම්පනයට මේක සම්බන්ධයි කියලද? මට නම් ඒක තාර්කිකව හිතාගන්න අමාරුයි."

නමුත් මේඝ නිහඬවම ඒ සාක්ෂි බෑගය තම කබායේ සාක්කුවට දැමුවේ එතැනින් එහාට කිසිවක් නොපවසාමය.

ගබඩාව තවදුරටත් පරීක්ෂා කරන විට මාධවට කඩා වැටුණු ලී රාක්කයක් යටින් තවත් යමක් නෙත ගැටුණි. ඔහු ඉතා සෙමින් ඒ යටට අත යවා, දූවිලිවලින් වැසුණු දිගටි වස්තුවක් එළියට ගත්තේය. "මේ පෑනක්, බලපන්..." එය ඉතා පෞරාණික පෙනුමක් ඇති තීන්ත පෑනකි. එහි රන්වන් පැහැති මිට මලකඩ කා තිබුණද, එහි ඇති ගාම්භීර පෙනුම තවමත් මැකී ගොස් නැත.

"පෑනකුයි, බොත්තමකුයි... මේවා අහම්බෙන් එකම තැනක තියෙන්න බෑ මාධව," මේඝ කල්පනාකාරීව පැවසීය. "බොහෝ විට මේවා කාගේ හරි පොරබැදීමකදී මෙතැනට වැටුණු ඒවා වෙන්න ඕනේ. හැබැයි ඒක සිද්ධ වෙලා තියෙන්නේ මීට හුඟක් කාලෙකට කලින්."

මාධව තම නළල රැලි කරගත්තේය. "ඒ කියන්නේ උඹ කියන්නේ මේ මන්දිරයේ අතීතයේ වුණ අපරාධයක සාක්ෂිද මේ හම්බෙන්නේ?"

"සමහරවිට මාධව... ඒත් විශ්වාස නෑ. බලමු, වර්තමානයේ සිද්ධ වෙන හැම මරණයකම මුල තියෙන්නේ මේ අතීතයේ වැළලුණු රහසක් ඇතුළේ වෙන්න ඇති. මේ පෑනයි බොත්තමයි කාගේද කියලා හොයාගත්තොත්, අපිට මේ කේස් එක තව ටිකක් ලිහිල් කරගන්න පුළුවන්," මේඝ ස්ථිර හඬින් පැවසීය.

"ආරක්ෂක අංශයක කෙනෙක් මෙතන මොනවා කළාද? ඔහුගෙන් මේ වගේ දේවල් ගිලිහී යන්න තරම් එදා මෙතන වුණ පොරබැදීමක් වුණාද? එහෙම නැත්නම් ඔහු මොකක්ද මෙතන කළේ?" මේඝ තමාගෙන්ම ප්‍රශ්න කරගත්තේය. මේඝගේ දෑස්වල තිබුණේ තියුණු බැල්මකි. ඔහුට තේරුම් ගියේ ඊයේ රාත්‍රියේ තමා අත්විඳි ඒ බිහිසුණු සිදුවීමට වඩා දරුණු යමක් මීට වසර ගණනාවකට පෙර මේ මන්දිරය තුළ සිදුවී ඇති බවයි.

මේඝ  බිත්තියේ ගසා ඇති විශාල පැරණි ඔරලෝසුව ඇති දෙස ඕනෑකමින් බැලුවේය. "මාධව, උඹට මතකද ගමේ මිනිස්සු කිව්වා මෙතන ඉස්සර ඩොක්ටර් සුජීව බෙහෙත් දුන්නා කියලා. මට හිතෙන විදිහට මේ කොටස තමයි එයාගේ 'ඩිස්පෙන්සරි' එක විදිහට පාවිච්චි කරලා තියෙන්නේ."

මේඝ සෙමින් බිත්තිය දිගේ අත ගෙන ගොස්, ඔරලෝසුවට මඳක් පසෙකින් ඇති ලී පුවරුවකින් ආවරණය වූ කොටසක් දෙසට යොමු විය. ඔහු එය මඳක් තද කළ විට, බිත්තිය ඇතුළට විවෘත වන කුඩා රහස් කවුළුවක් මතු විය. එහි තිබුණේ පැරණි වෛද්‍ය උපකරණ කිහිපයකි. වෙද නලාවක්, සේලයින් කටු සහ තවත් හඳුනාගත නොහැකි උපකරණ කිහිපයක් එහි විය.මේඝ ඒ සියලු උපකරනද ඔහු ලග තිබූ තරමක් විශාල බෑගයකට දමා ගත්හ.

"මාධව, අපි මන්දිරයට යමු. මට මේ ලාංඡනය ගැන තව ටිකක් විස්තර හොයාගන්න ඕනේ. මේක හරියටම ආරක්ෂක අංශයට සම්බන්ධයිද කියලා තහවුරු කරගන්න ඕනේ."

ගබඩාවෙන් පිටතට එද්දී නුවරඑළියේ මීදුම තවත් තදින් පැතිරෙමින් තිබුණි. මේඝට දැනුණේ තමා අතීතයේ අඳුරු මාවතක පියවර තබමින් සිටින බවයි. එහි කෙළවර ඇත්තේ සාමාන්‍ය මිනීමරුවෙකු නොව, නිල බලය සහ අද්භූත බලවේගය අතර සැඟවුණු මහා කුමන්ත්‍රණයකි.

****** 

"මේඝ, මම හිතන්නේ අපි දැන් වැදගත් මාවතකට වැටිලා ඉන්නේ," මාධව ගැඹුරු හුස්මක් ගනිමින් පැවසීය. "මේ බොත්තම ඒ කාලේ මේ මන්දිරයේ වුණ අභිරහස් සිදුවීම් පරීක්ෂා කරන්න ආපු නිලධාරියෙක්ගේ වෙන්න ඇති. බොහෝ විට එදා ඒ පරීක්ෂණ අතරමග නතර වුණේ හෝ ඒ නිලධාරියා අනතුරකට පත් වුණේ මේ ගබඩාව ඇතුළෙදි වෙන්නත් පුළුවන් නේද?"

මේඝ හිස වැනුවේය. "ඔව් මාධව. පෑනයි බොත්තමයි දෙකම එකම තැනක තිබුණේ. ඒ කියන්නේ ඒ නිලධාරියා මෙතැනදී ලොකු දේකට මුහුණ දීලා තියෙනවා වගේ.එහෙම නැත්නම් මෙතන වුනු දේවල් වලට ඔහුගෙ ලොකු සම්බන්දයක් තියෙනවා. අපි මේවා වැඩිදුර පරීක්ෂණවලට පොලිස් රසායනාගාරයට යවන්න ඕනේ. විශේෂයෙන්ම මේ පෑන." මේඝ පෑන දෙසට ඇඟිල්ල දිගු කළේය. "මාධව, අවුරුදු ගාණක් පරණ නිසා මේකේ ඇඟිලි සලකුණු හොයන එක නම් බොරු වැඩක්."

"ඒත් දූවිලිවලින් වැහිලා තිබුණට, මේකේ ඇතුළේ පැත්තේ හෝ මිටේ කොහේ හරි තවමත් ඇඟිලි සලකුණු තියෙන්න පුළුවන්. ඒ වගේම මේකේ තීන්ත වර්ගයෙන් අපිට පුළුවන් මේක කොයි කාලේ පාවිච්චි කරපු එකක්ද කියලා හරියටම කියන්න," මාධව පැවසුවේ බලාපොරොත්තු අත් නොහරිමිනි.

මේඝ පෑන පරීක්ෂා කරද්දී ඔහුගේ දෑස් තියුණු විය. "මාධව බලපන් මේ පෑනේ මිටේ කෙළවර..."

මේඝ තම විදුලි පන්දම ගෙන පෑනට යොමු කළේය. එහි ඉතා සියුම් ලෙස ලෝහයේ කොටා තිබූ අංක පෙළක් මතු විය.

"S.U. / 089 / 93"

"බලපන් මේක," මේඝ පෑන මාධවට පෙන්වීය. "මේකේ තියෙන්නේ සේවා අංකයක්. 'S.U.' කියන්නේ 'Security Unit' කියන එක වෙන්න ඇති. 93 කියන්නේ සමහරවිට ඒ නිලධාරියා මේක ලබාගත්ත වර්ෂය වෙන්න පුළුවන්."

මාධව ඒ අංක පෙළ දෙස බලා හිස වැනුවේය. "උඹ හරි මේඝ. මේක අනිවාර්යයෙන්ම රජයේ හෝ ප්‍රභූ ආරක්ෂක අංශයක නිලධාරියෙකුට නිකුත් කරපු පෑනක්. මේ අංකය අපේ පැරණි වාර්තාවල තියෙනවාද කියලා බැලුවොත්, මේ පෑන අයිති කොයි වගේ කෙනෙක්ටද කියලා අපිට හරියටම දැනගන්න පුළුවන්."

"ඒ කාලේ මේ මන්දිරයට ආරක්ෂාව දෙන්න විශේෂ කණ්ඩායමක් ඇවිත් තියෙනවා නම්, ඒක සාමාන්‍ය දෙයක් වෙන්න බෑ. එක්කෝ මෙතන මොනවා හරි වටිනා දෙයක් තිබුණා, නැත්නම් ලොකු අනතුරක් තිබුණා."

"මාධව, අපි මේවා අපේ පෞද්ගලික මට්ටමින් නුවරට යවමු. පොලිස් මූලස්ථානයට මේක දැනගන්න ලැබුණොත් සමහරවිට පරීක්ෂණවලට බාධා වෙන්න පුළුවන්. මොකද මේක පිටුපස ඉන්නේ එදා හිටපු බලවත් නිලධාරියෙක් නම්, ඒ රහස තවමත් කාර්යාල ඇතුළේ ආරක්ෂා වෙනවා වෙන්න පුළුවන්," මේඝ අනතුරු ඇඟවීය.

"උඹ හරි මේඝ. මම මගේ විශ්වාසවන්තම නිලධාරියෙකුට මේක බාර දෙන්නම්."

මාධව තම දුරකථනය ගෙන ඒ අංකය ඡායාරූප ගත කළේය. "මම මේක මගේ පරණ බැච් එකේ යාළුවෙක්ට යවන්නම්. මිනිහා තවමත් පොලිස් ලේඛනාගාරයේ වැඩ කරන්නේ. අනූ ගණන්වල ආරක්ෂක අංශවල විස්තර හොයාගන්න එක ඔහුට අමාරු වෙන්නේ නෑ." මාධව සාක්ෂි බෑගය පරෙස්සමෙන් තම ජැකට්ටුව ඇතුළේ දමා ගත්තේය.

******* 

"මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."        

Comments

Post a Comment

Popular posts from this blog

සීතල මන්දිරය 1 කොටස [අභිරහස් කතා/නවකතා]

සීතල මන්දිරය 2 කොටස[අභිරහස් කතා/නවකතා]

දඟකාර ආඩම්බරී 1