12 වන දිගහැරුම

මේඝගේ දෑස්වල තිබුණේ දැඩි විමසිලිමත් බවකි. මාධව තම ගමන් මල්ල සූදානම් කරගන්නා දෙස ඔහු නිහඬව බලා සිටියේය.

"මාධව, උඹ යන එක හොඳයි. හැබැයි මන්දිරයෙන් පිටවෙනකොටත්, ආපහු එනකොටත් හරිම පරිස්සමෙන්. මම මෙහේ මන්දිරයේ වෙන්නේ මොනවද කියලා හොඳ අවධානයෙන් ඉන්නම්," මේඝ මිතුරාගේ උරහිසට අතක් තබමින් පැවසීය.

"උඹත් පරිස්සමෙන් මේඝ. මම මේ සාක්ෂි ටික මගේ යාළුවට භාර දුන්න ගමන් රහසිගතවම අනෙක් බඩු ටික අරගෙන එන්නම්. කාටවත් සැකයක් ඇති නොවෙන්න මම වැඩේ කරන්නම්," මාධව සහතික විය.

එක්වරම මාධවගේ දුරකථනය වෙව්ලන්නට විය. ඒ ඔහුගේ මිතුරාගෙනි. ඔහු දැන් නුවරඑළිය නගරයට පැමිණ ඇති බවත්, මන්දිරයට ඇස ගැටෙන මානයකට පැමිණීම අනතුරුදායක නිසා නගරයේ නිශ්චිත ස්ථානයකට එන ලෙසත් ඔහු දන්වා සිටියේය.

පාන්දර හතරේ කණිසම වැදී තිබුණි. මුළු මන්දිරයම දැඩි මීදුමකින් වැසී ඇති අතර, පියදාස පවා කොහේ සිටිනවාදැයි සිතාගත නොහැකි තරමට අන්ධකාරය රජ කරමින් තිබුණි. මිනිස් ඇසකට තබා සතෙකුට පවා තමන්ව හඳුනාගත නොහැකි වන අයුරින් අඳුරු ලෝගුවක් පොරවාගත් මාධව, ඉතා සෙමින් මන්දිරයේ පසුපස දොරටුවෙන් පිටතට පියවර තැබුවේය.

"මේඝ, මම ගියා..." ඔහු රහසින් මිමුණුවේය.

මීදුම පීරමින් මන්දිරයේ සීමාවෙන් පිටතට රහසේම ගිය මාධව, මීදුම අතර අතුරුදහන් වනු මේඝ ජනේලයෙන් බලා සිටියේය. දැන් මේ විශාල මන්දිරය තුළ මේඝ තනි වී ඇත. සැබෑ අනතුර තමා අසලම සැරිසරන බව දැන දැනත්, මේඝ නැවතත් සුලෝචනාගේ රුව දෙස බලා සිටියේ මීළඟට සිදුවන දේ ගැන තාර්කිකව සිතන්නට උත්සාහ කරමිනි.

මාධව මන්දිරයේ මිදුලට පැමිණියේ බළලෙකු මෙන් සෙමින් අඩි තබමිනි. මන්දිරයේ කිසිවෙකුට හෝ අවට සැරිසරන අද්භූත කළු ලෝගුකාරයාට තමා පිටවන බව හැඟෙන්නට ඉඩ තැබිය නොහැක. මිදුලේ පසෙක නවතා තිබූ තම යතුරුපැදිය අසලට ගිය ඔහු, එහි යතුර දැමූ නමුත් එය පණ ගැන්වීමට උත්සාහ කළේ නැත. නිශ්ශබ්ද පාන්දර යාමයේ යතුරුපැදියක් පණ ගන්වන විට නැගෙන හඬ මුළු පරිසරය පුරාම දෝංකාර දෙන බව ඔහු හොඳින්ම දැන සිටියේය. එමෙන්ම එහි ප්‍රධාන ලාම්පුව දැල්වීම මීදුම පීරමින් තමා සිටින තැන ලෝකයාටම පෙන්වීමක් බඳුය.

මාධව යතුරුපැදියේ ලයිට් සියල්ල නිවා දමා, එය පණ නොගන්වාම මන්දිරයේ ගේට්ටුවෙන් පිටතට තල්ලු කරගෙන ආවේය. මන්දිරයේ සිට ප්‍රධාන පාරට වැටෙන තෙක් ඇත්තේ මඳක් බෑවුම් සහිත මාවතකි. මාධව යතුරුපැදිය මත හිඳගෙන, එහි තිරිංග පාලනය කරමින්, ගුරුත්වාකර්ෂණය නිසා එය සෙමින් පහළට පෙරළී යාමට ඉඩ හැරියේය. සීතල සුළඟත්, ඝන මීදුමත් ඔහුගේ මුහුණේ වැදෙද්දී, යතුරුපැදියේ රෝද වැලි මතින් ඇදී යන සියුම් හඬ විනා වෙනත් කිසිදු ශබ්දයක් පරිසරයට මුසු වූයේ නැත.

ඔහු මන්දිරයේ සීමාවෙන් තරමක් ඈතට, එනම් මිනිසුන්ගේ හෝ මන්දිරයේ සිටින අයගේ ඇසට නොගැටෙන සේ ප්‍රධාන මාර්ගයට පැමිණෙන තෙක්ම මෙම උපක්‍රමය භාවිතා කළේය. ප්‍රධාන පාරට පැමිණි පසුත්, ඔහු තවත් මීටර් කිහිපයක් ඉදිරියට එය තල්ලු කරගෙන ගොස්, අවසානයේ කිසිවෙකුට හඬ ඇසෙන්නේ නැති තරම් දුරකදී යතුරුපැදිය පණ ගන්වා නුවරඑළිය නගරය දෙසට වේගයෙන් පදවාගෙන ගියේය.

පාන්දර මීදුම අතරින් මාධව නොපෙනී යද්දී, මන්දිරයේ කාමරයේ සිටි මේඝ තවමත් ජනේලයෙන් පිටත බලා සිටියේ තම මිතුරාගේ ආරක්ෂාව පතමිනි. මාධවගේ යතුරුපැදියේ හඬ ඈතට මැකී ගිය පසු, මන්දිරය වෙලාගත්තේ පෙරටත් වඩා දරුණු වූ මළානික නිහඬතාවයකි. මේඝට නින්ද අහලකටවත් ආවේ නැත. තම මිතුරා සාක්ෂි රැගෙන මීදුම අතරින් නොපෙනී ගියද, මන්දිරයේ බිත්ති අතර සැඟවී සිටින "නොපෙනෙන සතුරා" තවමත් තමා දෙස බලා සිටින බව ඔහුට සිතුණි.

ඔහු කාමරයේ තිබූ ලී පුටුව ජනේලය අසලට ඇද ගත්තේය. ඉන්පසු ඉතා සෙමින් තම පිස්තෝලය කොපුවෙන් පිටතට ගෙන, එය පරීක්ෂා කර සීරුවෙන් තම අතැතිව තබා ගත්තේය. සීතල යකඩයේ ස්පර්ශය ඔහුට යම් විශ්වාසයක් ලබා දුන්නද, තමා මුහුණ දෙමින් සිටින්නේ උණ්ඩයකින් නැවැත්විය හැකි සතුරෙකුටද යන්න ඔහු තුළ වූයේ ලොකුම සැකයයි.

"මේක ලෙහන්න පටන් ගන්න ඕනේ කොතනින්ද?" ඔහු තමාටම මුමුණා ගත්තේය.

ඔහුගේ මනස ඉතා වේගයෙන් දත්ත විශ්ලේෂණය කරන්නට විය. මේඝ තර්කානුකූලව කරුණු පෙළගැස්වීය. අතුරුදහන් වූ නිලධාරියා, වීරසිංහ 1993 දී මේ රහස් උමග සොයාගත්තා නම්, ඔහුට ඒ තොරතුරු පිටතට දීමට ඉඩ නොලැබුණේ ඇයි? ලේඛනාගාරයේ පිටු අතුරුදහන් කළේ කවුද? පියදාස, ඔහු මේ මන්දිරයේ සැරිසරන ජීවමාන සෙවනැල්ලක් වැනිය. ඔහු බොහෝ දේ දන්නා නමුත්, සියල්ල පවසන්නේ නැත. සුලෝචනාගේ රුව පිටුපස සැඟවුණු රහස් යාන්ත්‍රණය නිර්මාණය කළේ කවුද? මීට වසර ගණනාවකට පෙර එවැනි ඉංජිනේරු තාක්ෂණයක් භාවිතා කිරීමට තරම් බුද්ධිමත් තාක්ෂණයක් තිබුණාද?

ජනේලයෙන් පිටත මීදුම අතරින් පයිනස් ගස්වල අතු සුළඟට හෙලවෙන අයුරු බියකරු දර්ශනයක් මවා පෑවේය. මේඝ දෑස් පටු කරගෙන අඳුර දෙස බලා සිටියේය.

"විද්‍යාවට පැහැදිලි කරන්න බැරි දෙයක් මෙතන නෑ. හැබැයි ඒ විද්‍යාව පාවිච්චි කරලා තියෙන්නේ ඉතාමත් දරුණු මනසක් තියෙන කෙනෙක්," ඔහු සිතුවේය.

ඔහුගේ අවධානය යොමු වූයේ පියදාසගේ ලන්තෑරුම් එළිය දෙසටය. එය තවමත් ඈතින් ගබඩාව දෙසට වන්නට නොසෙල්වී දැල්වෙමින් තිබුණි. මාධව නගරයෙන් ආපසු එන තෙක් ගතවන සෑම තත්පරයක්ම මේඝට දැනුණේ යුග ගණනාවක් ලෙසිනි. මන්දිරයේ සැබෑ රහස ඇත්තේ පියදාසගේ වචනවලද, නැතිනම් සුලෝචනාගේ අතුරුදහන් වූ සිරුරේද යන්න සෙවීමට ඔහු තම මනස සූදානම් කරගත්තේය. පිස්තෝලයේ මිට තදින් අල්ලාගත් මේඝ, අඳුර දෙස බලා සිටිමින් තීරණය කළේ හිරු උදාවූ සැණින් පියදාසව මුණගැසී ඔහුගෙන් කෙලින්ම ප්‍රශ්න කළ යුතු බවයි. මන්දිරය තුළ දැන් තර්කය සහ අභිරහස අතර අවසන් සටන ආරම්භ වී තිබුණි.

කාමරයේ අඳුර පලායමින්, දොරේ සිදුරු අතරින් සහ දොරට යටින් මළානික කහ පැහැති එළියක් කාමරය තුළට කාන්දු වන්නට විය. ඒ සමඟම මන්දිරයේ ලී බිම "ක්‍රීස්... ක්‍රීස්..." හඬින් කෙඳිරිගාන්නට වූයේ පියදාසගේ සෙමින් තබන පියවර හඬ කාමරය දෙසට සමීප වන බව දන්වමිනි.

මේඝගේ හද ගැස්ම මොහොතකට නතර විය. ඔහුගේ ඇඟිල්ල සහජයෙන්ම පිස්තෝලයේ කොකා අසලට ගියේය. අඳුරේ තනිව සිටි ඔහුට මේ මධ්‍යම රාත්‍රියේ දොර අසල මතු වූ ඒ එළිය මරණීය බියක් ගෙන ආවද, වහාම තම මනස පාලනය කර ගැනීමට ඔහුට හැකි විය.

'පියදාස...' මේඝ සෙමින් හුස්මක් පිට කළේය. 'මේ ඉන්නේ මම දන්න අමනුෂ්‍යයනේ.'

ඔහු පිස්තෝලය පහත් කළේ නැතත්, එය මඳක් සඟවා ගත්තේය. පියදාස කිසිදාක දොරට තට්ටු කරන්නේ නැත. ඔහු කරන්නේ දොර අසලට වී තමා එහි සිටින බව ලන්තෑරුම් එළියෙන් ඇඟවීම පමණි.

"මහත්තයා තවම ඇහැරිලාද?" දොරෙන් එපිටින් පියදාසගේ බරැති, ඒකාකාරී හඬ ඇසුණි. ඒ හඬෙහි කිසිදු කලබලයක් හෝ හැඟීමක් නොවීය.

මේඝ පුටුවෙන් නැගිට දොර අසලට ගියේය. "නින්ද යන්නේ නැහැ පියදාස. ඇයි මේ වෙලාවේ?"

"මම දැක්කා මහත්තයා ජනේලෙ අයිනේ ඉන්නවා," පියදාස පැවසූ නමුත් ඒ වචන පිටුපස වෙනත් අර්ථයක් ඇති බව මේඝට වැටහුණි. මාධව මන්දිරයේ නැති බව පියදාස දන්නවා විය යුතුය. ඔහුගේ ලන්තෑරුම් එළිය මේඝගේ මුහුණ මතට වැටෙද්දී, පියදාසගේ දෑස් අමුතුම දීප්තියකින් බැබළුණි.

"අනික මහත්තයා... අර පින්තූරේ ආපහු තිබ්බ තැනම එල්ලපු එක හොඳයි. ඒත් ලස්සන බලන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා. සමහර දේවල් තිබ්බ විදියටම තියෙන්න දෙන එක තමයි ආරක්ෂාව," පියදාස කිසිවක් සිදු නොවූවාක් මෙන් පැවසීය.

මේඝ ගල් ගැසී බලා සිටියේය. පියදාස ඒ කතා කළේ සුලෝචනාගේ පින්තූරය ගැනය. තමන් රහසේම කළ ඒ පරීක්ෂණය පියදාස දැනගෙන ඇත. පියදාසගේ ඒ වචනත් සමඟ කාමරය තුළ පැවති වාතය පවා මොහොතකට මිදුණාක් මෙන් මේඝට දැනුණි. පියදාස යනු ලේ මස්වලින් සැදුණු සාමාන්‍ය මනුෂ්‍යයෙකු නොවන බවත්, ඔහු මේ මන්දිරයටම බද්ධ වූ නොපෙනෙන බලවේගයක සෙවනැල්ලක් බවත් මේඝට සිහිවිය.

"මහත්තයාගේ ආරක්ෂාව ගැන බය වෙන්න එපා," පියදාස නැවතත් පැවසීය. මෙවර ඔහුගේ හඬෙහි තිබුණේ මෘදු බවකට වඩා නියෝගයක ස්වරූපයකි. "මම ඒක කොහොමත් කරනවා. මහත්තයාට මේ වැඩේ ඉවර කරන්න ලැබෙනකම් මම කාටවත් ඉඩ දෙන්නේ නැහැ මහත්තයාට කරදරයක් කරන්න."

"ඇයි පියදාස මාව ආරක්ෂා කරන්නේ? තමුන්ගේ අරමුණ මොකක්ද?" මේඝ කෙලින්ම ඇසුවේය. ඔහු තවමත් පිස්තෝලයේ මිට අතින් අතහැර තිබුණේ නැත.

පියදාසගෙන් ලැබුණේ මළානික සිනහවකි. "මහත්තයා ආවේ මම බලාපොරොත්තු වුණු දේ කරන්නයි. මට ඕන කරන්නේ මේ මීදුම අතරේ හිරවෙලා ඉන්න අයට නිදහස දෙන්න. ඒකට මහත්තයා පණ පිටින් ඉන්න ඕනේ. ඒ නිසා මේ මන්දිරයේ බිත්තිවලටවත් මහත්තයාට අනතුරක් කරන්න මම ඉඩ දෙන්නේ නැහැ."

පියදාස තමාට ආරක්ෂාව දෙන බව පැවසුවද, ඒ ආරක්ෂාව පවතින්නේ තමා ඔහුගේ අරමුණ ඉටු කරන තෙක් පමණක් බව මේඝට සහතිකය. මන්දිරයේ සිටින ඒ 'අමනුෂ්‍ය සෙවනැල්ල' තමාගේ පැත්තේ සිටීම එක් අතකින් වාසනාවක් වුවද, අනෙක් අතින් එය ගිනි කන්දක් මත හිඳගෙන සිටීමක් බඳුය.

"ලේ මස් තියෙන මනුෂ්‍යයෙක්..." මේඝ පියදාස කලින් කී වචන සිහිපත් කළේය. ඔහු නැවතත් ජනේලය අසලට ගියේය. මීදුම තවමත් ඝනව පවතී. දැන් මන්දිරය ඇතුළේ පියදාස තමාව ආරක්ෂා කරනු ඇත. නමුත් මන්දිරයෙන් පිටත, නුවරඑළියේ මීදුම පිරි මාවත්වල තනිවම යන මාධවට එවැනි ආරක්ෂාවක් තිබේද?

"මහත්තයා... මම කොච්චර ඔබව රැක්කත්, ඔබේ ප්‍රතිවාදියා ගැන සුළුවෙන් තකන්න එපා. ඔහු මට බය නැහැ. මම කවුද කියලා ඔහු හොඳටම දන්නවා."

පියදාසගේ හඬේ තිබුණේ මීට පෙර නොඇසුණු බියක් සහ බැරෑරුම්කමකි.

"ඔහුට මට කිසිවක් කරන්න බැහැ, ඒක ඇත්ත. ඒත්... ඔහු මට යම් දෙයක් කරන්න පුළුවන් ක්‍රමයක් හොයාගත්තොත්, මේ සියල්ලම එතැනින් ඉවරයි. මමත් ඉවරයි, ඔබත් ඉවරයි. ඒ විතරක් නෙවෙයි, මේ මන්දිරයේ රහසත් එක්කම අපි හැමෝම සදහටම මේ මීදුම ඇතුළේ වැළලිලා යාවි."

මේඝ පුදුමයෙන් පියදාස දෙස බලා සිටියේය. පියදාස වැනි අද්භූත බලවේගයකට පවා බියක් දැනෙන තරමට මේ මිනීමරුවා බලවත්ද? නැතිනම් ඔහු පියදාසගේ දුර්වලකම දන්නවාද?

"පියදාස, තමුන්ට දෙයක් කරන්න පුළුවන් මොන වගේ දෙයකින්ද? ඔහු ඒක දන්නවද?" මේඝ රහසින් ඇසීය.

"බුද්ධිය සහ ආත්මය අතර සටනකදී, ශරීරයක් තියෙන කෙනාට කරන්න පුළුවන් දේවල් වැඩියි මහත්තයා. ඒ නිසා පරිස්සමෙන්."

එක්වරම, මන්දිරයේ වත්ත කෙළවරින් අතිශය අසාමාන්ය දීප්තියක් මතු වනු මේඝ දුටුවේය. ජනේලයෙන් පිටත බැලූ මේඝගේ දෑස් අදහාගත නොහැකි විය. ඝන මීදුම පීරමින්, කහ පැහැති ඉතා සුන්දර ගවුමකින් සැරසුණු කාන්තාවක් පාවෙමින් යන අයුරු ඔහු දුටුවේය. ඇගේ දිගු කෙස්කළඹ සුළඟේ ලෙළදෙන අතර, ඒ කහ පැහැති වස්ත්‍රය අඳුරේ අමුතුම ආලෝකයක් විහිදුවයි. ඇය මනුෂ්‍යයෙකුට වඩා ඉතා සැහැල්ලු ලෙස මීදුම මත පාවී යන්නීය.

මේඝ සහජයෙන්ම තම පිස්තෝලය අතට ගෙන කාමරයෙන් පිටතට පැන ඇය පසුපස යාමට සැරසුණි. නමුත් පියදාසගේ සීතල දෑත මේඝගේ උරහිස මත තද විය.

"යන්න එපා මහත්තයා... ඇයට ඉන්න දෙන්න," පියදාසගේ හඬ වෙනදාට වඩා බරින් යුක්ත විය.

"කවුද ඒ පියදාස?" මේඝ රහසින් ඇසුවේ වෙව්ලන හඬිනි.

"ඒ සුලෝචනා නෝනා. හඳ පායන දවස්වලට ඇය තමන්ගේ දුක පිටකරගන්න මෙහෙම එනවා. ඇයට වෙච්ච දේ ඇයටවත් තාම දරාගන්න බැහැ මහත්තයා," පියදාස පවසද්දී ඔහුගේ පපුවෙන් ගැඹුරු සුසුමක් පිටවන අයුරු මේඝට දැනුණි. ආත්මයක් වුවද පියදාස තුළ තවමත් ඒ වේදනාව ඉතිරිව තිබේ.

මේඝ පියදාසගේ වචනයට අවනත වී ඇය පසුපස ගියේ නැත. ඔහු ජනේලය අසල හිඳ ඇය දෙස බලා සිටියේය. එක්වරම වත්ත දෙසින් ඇසුණේ ගත කිලිපොළා යන බියකරු ශබ්ද මාලාවකි. ඈතින් පාවෙන ඒ රුව වරෙක මහ හඬින් හඬන්නට විය. ඒ හැඬුම මීදුම පීරමින් මන්දිරයේ බිත්තිවල වැදී දෝංකාර දුන්නේ යක්ෂණියකගේ විලාපයක් මෙනි. තවත් මොහොතකින් ඒ හැඬුම නතර වී, ඉතා අශුභවාදී වූත්, උමතු වූත් සිනහ හඬක් ඇසෙන්නට විය.

"මම එනවා... මම එනවා..." ඇය විකාරයෙන් මෙන් කෑගසයි.

ඉන්පසු පරිසරය මොහොතකට නිහඬ විය. ඊළඟ තත්පරයේදී ඇය ඉතා මිහිරි නමුත් ශෝකී හඬකින් කවියක් ගායනා කරන්නට විය. නමුත් එය අපැහැදිලි විය. ඈතින් පෙනෙන ඇගේ රුව වරින් වර විකෘති වෙමින්, මීදුම අතරේ දියවෙමින් නැවතත් මතු වේ.

"ඇය තාමත් හිතන්නේ ඇය ජීවත් වෙනවා කියලා මහත්තයා. ඒත් ඇගේ ආත්මය කෑලිවලට කැඩිලා තියෙන්නේ," පියදාසගේ දෑසින් මළානික එළියක් විහිදෙන්නට විය. මේඝ ජනේලය අසල ගල් ගැසී බලා සිටියේය. ඒ බියකරු දර්ශනය දෙස බලන විට ඔහුට එක දෙයක් ස්ථිරවම වැටහුණි.

'සුලෝචනා මියගිහින්...'

මේඝ මවිතයෙන් සහ බියෙන් ගල් ගැසී බලා සිටියේය. ඒ අඩවන් ආලෝකය මැද වත්තෙන් අතුරුදහන් වූ ඇගේ රුව, කාමරයේ කොනක මීදුමෙන් මැවුණු රුවක් මෙන් මතු වී සිටියාය. ඈත වත්තේ පාවෙමින් සිටි ඒ කහ පැහැති ගවුම හැඳි රුව දැන් මේඝට අත පෙවිය හැකි මානයේය. ඇගේ රුව අස්වාභාවික ලෙස විනිවිද පෙනෙන සුලු වුවත්, ඇගේ මුහුණේ ඇති ඒ මහා වේදනාව ජීවමාන මිනිසෙකුටත් වඩා ප්‍රබල ලෙස දැනුණි. ඇය මේඝ දෙස බලා සිටින්නීය. ඇගේ දෑස්වලින් නිමක් නැතිව කඳුළු ගලා යයි. ඒ කඳුළු බිංදු බිමට වැටෙන හඬ පවා මේ නිහඬ රාත්‍රියේ මේඝට ඇසෙන්නාක් මෙනි.

ඒ සමඟම මේඝගේ පපුව මැදින් දරාගත නොහැකි හිරවීමක් මතු විය. සුලෝචනාගේ දෑසින් කඳුළු බිඳක් කම්මුල දිගේ පහළට වැටෙන සෑම අවස්ථාවකම, මේඝගේ දෑසින්ද උණුසුම් කඳුළු බිඳක් කම්මුල දිගේ ගලා යයි. ඇය ඉකිගසමින් හඬන්නට පටන් ගත්තාය. ඒ ශබ්දය වාතය හරහා එන ශබ්දයකට වඩා, කෙලින්ම මේඝගේ ආත්මය ඇතුළතින් මතුවන විලාපයක් බඳු විය.

"මට... බේරෙන්න... පාරක්... නෑ..." ඇගේ මුවින් ගිලිහුණු ඒ කෙඳිරිය මේඝගේ හදවත පලාගෙන ගියේය.

සුලෝචනා හඬන සෑම වාරයකම මේඝගේ මුළු සිරුරම වෙව්ලන්නට විය. ඔහුට තම කඳුළු පාලනය කරගැනීමට කිසිදු හැකියාවක් නැත. ඇය විඳින ඒ මහා හුදකලාව, ඇය මියගිය මොහොතේ දැනුණු ඒ අසරණකම සහ වසර තිස් ගණනක් තිස්සේ ඇය මේ මන්දිරයේ බිත්ති අතර සිරවී විඳින වේදනාව දැන් මේඝගේම වේදනාව බවට පත්ව තිබේ. ඔවුන් දෙදෙනා අතර දැන් පවතින්නේ වචනයෙන් විස්තර කළ නොහැකි, අද්භූත රුධිර බැඳීමක් බඳු වූ ශෝකී සම්බන්ධයකි.

පියදාස මේ දෙස නිහඬව බලා සිටියේය. ඔහුගේ මළානික දෑස්වල පවා අනුකම්පාව ලියැවී තිබුණි.

"දැක්කද මහත්තයා... ඇය ඉන්නේ ඔබ ඇතුළේ," පියදාස රහසින් මෙන් පැවසීය. "ඇය හඬන්නේ ඔබ වෙනුවෙන්. ඔබ හඬන්නේ ඇය වෙනුවෙන්. මේ මන්දිරයේ ඉතිහාසය ඇතුළේ කවදාවත් ජීවමාන හදවතක් මළගිය හදවතක් එක්ක මෙහෙම ගැහුණේ නැහැ. ඒ වේදනාවට ඉඩ දෙන්න. ඒක තමයි ඇය මේ මොහොතේ ඉල්ලන එකම දේ."

සුලෝචනා සෙමින් මේඝ දෙසට තම දෑත දිගු කළාය. ඇගේ ඇඟිලි තුඩුවලින් පිටවන සීතල මේඝගේ නළලට දැනෙන්නට විය. ඒ මොහොතේ මේඝට පෙනුණේ ඇගේ අවසන් මොහොතේ දර්ශනයකි. අඳුරු උමගක්... රතු පැහැති ආලෝකයක්... සහ තමා දෙසට දිව එන බියකරු සෙවනැල්ලක්...

මේඝගේ හැඬුම තවත් උච්ච විය. ඔහුට දැනුණේ තමාගේ පෙනහළු හිරවී යනවාක් මෙනි. මුළු කාමරයම ඇගේ මහා ශෝකයෙන් පිරී ගොස් තිබුණි. එය කියවන කෙනෙකුගේ හදවත පවා හිස් කරන, මුළු ලෝකයම පාලු බවින් පුරවන අන්දමේ මරණීය නිහඬතාවයකින් පිරි බියකරු දර්ශනයකි. එක්වරම මේඝගේ පපුව මැදින් දරාගත නොහැකි, තියුණු වේදනාවක් මතුවන්නට විය. එය හරියට අදෘශ්‍යමාන අතකින් ඔහුගේ පපුව හාරා දමන්නාක් බඳු විය. මින් පෙර කිසිම දිනක අත්නොවිඳි ඒ මහා හිස් බව සහ අසරණකම ඔහුගේ මුළු ආත්මයම වෙළා ගත්තේය. ඔහුටත් නොදැනීම දෑස් දිගේ උණුසුම් කඳුළු කැට කම්මුල් දිගේ ගලා යන්නට විය.

"ඇයි මට මෙහෙම වෙන්නේ?" මේඝ තමාගෙන්ම අසා ගත්තේය. ඔහු දෑතින් කඳුළු පිසදා ඒවා නැවැත්වීමට උත්සාහ කළද, එය කිසිසේත්ම කළ නොහැකි විය. පාලනයකින් තොරව ගලා යන ඒ කඳුළු අස්වාභාවික බව ඔහුට තේරුම් ගියේය. ඔහුගේ හදවත ගැහෙන වේගය වැඩි වූ අතර, දරාගත නොහැකි ශෝකයකින් ඔහුගේ උගුර හිර විය.

අඳුරේ නිසලව බලා සිටි පියදාස, සෙමින් මේඝ අසලට පැමිණියේය. ලන්තෑරුමේ මළානික එළියෙන් පියදාසගේ දෑස්වල පවා තෙතමනයක් ඇති බව මේඝ දුටුවේය.

"ඕක නවත්වන්න හදන්න එපා මහත්තයා..." පියදාස ඉතා මෘදු හඬින් පැවසීය. "ඇගේ වේදනාව ඇය ඔබත් එක්ක බෙදාගන්න හදන්නේ. ඒක වළක්වන්න එපා."

මේඝ පියදාස දෙස බැලුවේ සහනයක් පතන්නාක් මෙනි.

"මේ අවුරුදු තිස් ගාණටම ඇයට තමන්ගේ වේදනාව දැනෙන, ඒක බෙදාගන්න පුළුවන් කෙනෙක් හම්බවුණේ අදයි. මේ මන්දිරයේ හැමෝම ඇහුවේ ඇගේ විලාපය විතරයි, ඒත් ඒ විලාපය ඇතුළේ තියෙන වේදනාව අඳුරගන්න කවුරුත් හිටියේ නැහැ. අද ඔබ ඒක අඳුරගත්තා මහත්තයා."

පියදාස මේඝගේ උරහිස මත තම සීතල අත තැබුවේය. ඒ ස්පර්ශයෙන් මේඝගේ වෙව්ලුම මඳක් අඩු විය.

"ඔබේ ඇස්වලට අඬන්න දෙන්න මහත්තයා. ඒ කඳුළු ඇගේ ආත්මයට ලැබෙන එකම සැනසීමයි. ඇය මේ මන්දිරය ඇතුළේ තනිවෙලා, පිච්චි පිච්චි හිටපු ඒ ගින්න නිවන්න ඔබේ ඒ කඳුළු බිඳකට පුළුවන්. ඒ වේදනාවට ඉඩ දෙන්න... ඒක ඔබේ හදවත ඇතුළට ගන්න. එතකොට විතරයි ඔබට මේ අපරාධයේ නියම බර දැනෙන්නේ."

මේඝ කිසිවක් නොකියා දිගු වේලාවක් හඬා වැටුණේය. ඒ කඳුළු අතරින් ඔහුට පෙනුණේ සුලෝචනාගේ අහිංසක සිනහව නොව, ඇය මිය යන මොහොතේ විඳි ඒ බිහිසුණු තනිකමයි. මීදුම අතරින් හමා ආ සීතල සුළඟ පවා ඇගේ සුසුම් රැගෙන එන්නාක් මෙන් ඔහුට දැනුණි.

මුළු රාත්‍රියම ඒ මහා ශෝකයේ ගිලී ගියේය. පියදාස පසෙකට වී නිහඬව ඒ දෙස බලා සිටියේ, තමන් වසර ගණනාවක් තිස්සේ බලාපොරොත්තු වූ ඒ 'මනුෂ්‍යත්වය' මේඝ තුළින් මතු වන බව දැක සැනසීමෙනි. සුලෝචනාගේ රුව සෙමින් සෙමින් මීදුම අතරේ බොඳ වී යද්දීත්, මේඝ තවමත් බිම බලාගෙන හඬමින් සිටියේය. ඇය ගිය පසුත් කඳුළු බිංදු මේඝගේ කම්මුල් මත තවමත් උණුසුම්ව ඉතිරිව තිබුණි.

මේ සටන ඔහුට පමණක් අයිති එකක් නොවන බව මේඝට වැටහුණි. එය සුලෝචනාගේ ආත්මය සහ තමාගේ පණ ගැහෙන හදවත එකට එක්ව කරන අවසන් යුද්ධයයි.

කාමරය තුළ තවමත් රැඳී පවතින්නේ මරණීය ශෝකයක බරකි. සුලෝචනාගේ රුව මීදුම අතරට නොපෙනී ගියද, ඇය ඉතිරි කර ගිය ඒ මහා හිස් බව මේඝගේ පපුව පාරමින් තිබුණි. ඔහුගේ දෑස් තවමත් තෙත් වී ඇත. ඒ වේදනාව කොතරම්ද යත්, හුස්ම ගන්නා සෑම වාරයකම පෙනහළු ඇතුළත රිදුමක් හටගන්නා බව මේඝට දැනුණි. ඇය මියගොස් ඇති බවත්, ඇය මරා දමා ඇති බවත් දැන් ඔහුට සහතිකය.

"මම පොරොන්දු වෙනවා. ඇයට මේ ශාපයෙන් නිදහස් වෙන්න මම මිනීමරුවාව හොයාගන්නවා," මේඝ තමාටම මුමුණා ගත්තේය.

*******

 "මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."      

Nest Episode 

Comments

Post a Comment

Popular posts from this blog

සීතල මන්දිරය 1 කොටස [අභිරහස් කතා/නවකතා]

සීතල මන්දිරය 2 කොටස[අභිරහස් කතා/නවකතා]

දඟකාර ආඩම්බරී 1